BREAKING
ඇල්ල නිව්බර්ග් තේ කම්හල සුපිරි හෝටලයක් වෙයි●සයිබර් ජාතිකවාදය: ඇල්ගොරිතම වෙළඳපොළට හසු වූ අධි-ප්‍රබන්ධ දේශපාලනය (දීප්තිගේ වීඩියෝවක්)●බ්‍රිතාන්‍ය දුම්රියකදී කාන්තාවකට ලිංගික අතවර කළ ශ්‍රී ලාංකිකයෙකුට සිරදඬුවම්●'මඩොල් දූව' ස්වීඩන් පාසල් දරුවන් අතරට යයි●දළ පූට්ටුවා ඝාතනය: වසර ගණනාවකට පසුත් යුක්තිය ප්‍රමාද ඇයි?●ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් ශ්‍රී ලංකාවේ ආයෝජන ගැන වාර්තාවක්●රෝසි සේනානායකගේ පුත් කණිෂ්ක සේනානායක අභාවප්‍රාප්ත වෙයි●සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●
Top Ad
පුවත්

සඳගල සහ රූපවාහිනී සංස්ථා නඩුවලින් කෙහෙළියට ඇප: විදෙස් ගමන් තහනම්

T

The Leader Desk

August 18, 2026 • 3:26 PM

සඳගල සහ රූපවාහිනී සංස්ථා නඩුවලින් කෙහෙළියට ඇප: විදෙස් ගමන් තහනම්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සඳගල පුරාවස්තු සොරකම් විමර්ශනයට බලපෑම් කළැයි කියන නඩුවේ දෙවන සැකකරු කෙහෙළිය රඹුක්වැල්ල ඇප මත මුදාහැරේ
  • මහේස්ත්‍රාත්වරයා ඒ පිළිබඳ සාක්ෂි තිබේදැයි විමසූ අවස්ථාවේදී, නිල නිවසට ගිය පොලිස් නිලධාරීන් තිදෙනා එම කරුණ තහවුරු කර ඇති බව අල්ලස් කොමිසමේ නිලධාරීන් සඳහන් කළේය.
  • තවදුරටත් කරුණු දැක්වූ කොමිසම, මෙම සිද්ධියට අදාළ වැදගත් සාක්ෂිකරුවෙකු වන රොෂාන් කදනගේ නමැත්තාගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමට ඇති බැවින් සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ඉල්ලා සිටියේය.
  • මෙම සිද්ධියට අදාළව අධ්‍යක්ෂ මණ්ඩලයෙන් ප්‍රකාශ සටහන් කරගැනීමට ඇති බව අල්ලස් කොමිසම පැවසූ අවස්ථාවේදී, "අවුරුදු හතක් තිස්සේ විමර්ශන කටයුතු සිදුකර අධ්‍යක්ෂවරුන්ගේ නම් දන්නේ නැද්ද?" යනුවෙන් මහේස්ත්‍රාත්වරයා කොමිසමෙන් ප්‍රශ්න කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):

අනුමත සේවක සංඛ්‍යාව ඉක්මවා බඳවාගෙන රූපවාහිනී සංස්ථාවට ලක්ෂ 143ක පාඩුවක් කළ බවට එල්ල වූ චෝදනාවටත් ඇප

ඓතිහාසික සඳගල පුරාවස්තුව සොරකම් කිරීමේ සිද්ධියකට අදාළ විමර්ශනවලට බලපෑම් කිරීම සහ ජනමාධ්‍ය අමාත්‍යවරයාව සිටියදී ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ අනුමත සේවක සංඛ්‍යාව ඉක්මවා බඳවාගැනීම් සිදුකර රජයට රුපියල් එක්කෝටි හතළිස් තුන් ලක්ෂයකට අධික පාඩුවක් සිදුකිරීම යන චෝදනාවලට අදාළව අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (18) නියෝග කළේය.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අධිකරණය, සඳගල නඩුවට අදාළව රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් සහ රූපවාහිනී සංස්ථා සිද්ධියට අදාළව රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් නියම කළ අතර, සැකකරුගේ විදේශ ගමන් තහනම් කිරීමටද පියවර ගත්තේය.

සඳගල පුරාවස්තු සිද්ධිය සහ විමර්ශන බාධා කිරීම් චෝදනාව

මහනුවර රාජධානියේ අවසන් සිංහල රජු වන ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුගේ කුණ්ඩසාලේ උඩමළුව පුරාවිද්‍යා භූමියේ පිහිටි මාලිගා පිවිසුම් පියගැටපෙළේ පැවති 'සඳගල' පුරාවස්තුව සොරකම් කිරීම සම්බන්ධයෙන් වන විමර්ශනයට අදාළව කෙහෙළිය රඹුක්වැල්ල මෙම නඩුවේ දෙවන සැකකරු ලෙස නම් කර ඇත.

අල්ලස් කොමිසම අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙන්වා දුන්නේ, සැකකරු අමාත්‍ය ධුරය දරමින් සිටියදී සිය පුත්‍රයා වන රමිත් රඹුක්වැල්ල මෙම සිද්ධියෙන් මුදාගැනීම සඳහා විමර්ශන නිලධාරීන්ට බලපෑම් කරමින් දූෂණය, ආධාර අනුබල දීම සහ කුමන්ත්‍රණය යන වැරදි සිදුකර ඇති බවයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ මහනුවර අපරාධ විමර්ශන කොට්ඨාශය මගින් සිද්ධිය විමර්ශනය කරද්දී, එවකට මහනුවර කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රත්නායක, පල්ලේකැලේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ක්‍රිෂාන්ත සහ මහනුවර කොට්ඨාශ ප්‍රධාන පොලිස් පරීක්ෂක දිසානායක යන නිලධාරීන් තිදෙනා අමාත්‍ය නිල නිවසට කැඳවා විමසීම් කර ඇති බවත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ අමතා සිය පුත්‍රයාගේ නඩුව පිළිබඳ විමසා ඇති බවත් කොමිසම පැවසීය.

මහේස්ත්‍රාත්වරයා ඒ පිළිබඳ සාක්ෂි තිබේදැයි විමසූ අවස්ථාවේදී, නිල නිවසට ගිය පොලිස් නිලධාරීන් තිදෙනා එම කරුණ තහවුරු කර ඇති බව අල්ලස් කොමිසමේ නිලධාරීන් සඳහන් කළේය. තවදුරටත් කරුණු දැක්වූ කොමිසම, මෙම සිද්ධියට අදාළ වැදගත් සාක්ෂිකරුවෙකු වන රොෂාන් කදනගේ නමැත්තාගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමට ඇති බැවින් සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ඉල්ලා සිටියේය.

රූපවාහිනී සංස්ථාවට පාඩු සිදුකිරීම සහ අධිකරණයේ තීන්දුව

දෙවන නඩුව මගින් අල්ලස් කොමිසම චෝදනා කළේ, ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේදී රාජ්‍ය කළමනාකරණ චක්‍රලේඛ උල්ලංඝනය කරමින් රූපවාහිනී සංස්ථාවට කාර්යාල සහායකයින් දෙදෙනෙකු සහ රියැදුරන් සිව්දෙනෙකු අනවශ්‍ය ලෙස බඳවාගෙන රුපියල් 14,325,422.83 ක මුදලක් රජයට පාඩු කළ බවයි.

මෙම සිද්ධියට අදාළව අධ්‍යක්ෂ මණ්ඩලයෙන් ප්‍රකාශ සටහන් කරගැනීමට ඇති බව අල්ලස් කොමිසම පැවසූ අවස්ථාවේදී, "අවුරුදු හතක් තිස්සේ විමර්ශන කටයුතු සිදුකර අධ්‍යක්ෂවරුන්ගේ නම් දන්නේ නැද්ද?" යනුවෙන් මහේස්ත්‍රාත්වරයා කොමිසමෙන් ප්‍රශ්න කළේය.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාංචන රත්වත්තේ අධිකරණයට කරුණු දක්වමින්, තම සේවාදායකයා රෝගී තත්ත්වයෙන් පෙළෙන බැවින් සුදුසු ඇපයක් මත මුදාහරින ලෙස ඉල්ලා සිටි අතර මෙම විමර්ශනය 2010 වසරේදී ආරම්භ වූවක් බවද පෙන්වා දුන්නේය.

දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කරන ලද කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා, සැකකරුගේ ඇප ප්‍රතික්ෂේප කිරීමට තරම් ප්‍රමාණවත් කරුණු අධිකරණය හමුවේ අනාවරණය නොවන බව සඳහන් කරමින් නියමිත කොන්දේසි සහිතව සැකකරු ඇප මත මුදාහැරීමට නියෝග කළේය.

 

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...