සහරාන් සමඟ පැවති සබඳතා සහ නුවරඑළියේ 'බයාන්' දේශන ගැන දුන් දීර්ඝ සාක්ෂිය
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාව කුමන්ත්‍රණය කිරීම සහ ආධාර අනුබලදීම ඇතුළු අධිචෝදනා 23,270ක් යටතේ විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවේ ප්‍රධාන විත්තිකරු වන මොහොම්මදු ඊබ්‍රහීම් මොහොම්මදු නවුෆර් හෙවත් නවුෆර් මවුලවි, තමන්ට එරෙහි සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ඊයේ (17) කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ විත්ති වාචකයක් ඉදිරිපත් කළේය.
නවරත්න මාරසිංහ, රාමනාදන් කන්නන් සහ සුජීව නිශ්ශංක යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ පැමිණිල්ලේ සාක්ෂි විභාගය අවසන් වීමෙන් පසු, විත්තියේ සාක්ෂි කැඳවීමේ අදියර ආරම්භ කරමින් පළමු විත්තිකරු ලෙස නවුෆර් මවුලවි පැය දෙකකට ආසන්න කාලයක් විත්ති කූඩුවේ සිට කරුණු දැක්වීය.
චෝදනා 940 ම ප්‍රතික්ෂේපයි - CID පාපොච්චාරණය නීතිවිරෝධීයි
තමන්ට එරෙහිව එල්ල වී ඇති චෝදනා පිළිබඳව කරුණු දැක්වූ විත්තිකරු, ප්‍රහාරයට සම්බන්ධ මරාගෙන මැරෙන බෝම්බකරුවන් සමඟ එක්ව අන්තවාදය වැපිරූ බවට හා ජාතික සංහිඳියාව බිඳහෙලන දේශන පැවැත්වූ බවට නගා ඇති චෝදනා 940 ම තරයේ ප්‍රතික්ෂේප කරන බව පැවසීය.
ප්‍රහාරය එල්ල වූ දින සවස දඹුල්ලේදී අත්අඩංගුවට පත්වීමෙන් පසු වසර එකහමාරක් රඳවා තබාගෙන ප්‍රකාශ සටහන් කරගත් බවත්, එම පාපොච්චාරණය ස්වේච්ඡාවෙන් ලබාදුන්නක් නොවන බවත් ඔහු අධිකරණය හමුවේ කියා සිටියේය.
"අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටියදී මට පහරදීම් සිදුවුණා. මා පිළිබඳව සටහන් කර ඇති පාපොච්චාරණයේ මගේ නම හැර අන් සියල්ල අසත්‍යයි. ISIS ත්‍රස්ත සංවිධානයට සහාය පළ කළ බවට එල්ල වන චෝදනා සම්පූර්ණයෙන්ම අසත්‍ය වන අතර, මුස්ලිම්වරුන් ඊට සම්බන්ධ නොවිය යුතු බව මම මගේ දේශනවලින් අවධාරණය කළා."
සහරාන් සමඟ සබඳතාව සහ 'බයාන්' දේශන පිළිබඳ පැහැදිලි කිරීම
සහරාන් හෂීම් සමඟ පැවති සම්බන්ධතාව පිළිබඳව විස්තර කරමින් විත්තිකරු සඳහන් කළේ සහරාන් සිය ඥාති කාන්තාවක සමඟ විවාහ වී සිටි බැවින් ඔහුව හඳුනන නමුත්, 2007 සිට 2017 දක්වා කාලය තුළ ඔහු සමඟ කිසිදු සම්බන්ධතාවක් නොපැවති බවයි.
නුවරඑළිය සහ හම්බන්තොට ප්‍රදේශවල පැවති 'බයාන්' ආගමික දේශනවලදී තමන් ආයුධ සන්නද්ධ අරගලයක් වෙනුවෙන් පෙනී සිටි බවට පැමිණිල්ලේ සාක්ෂිකරුවෙකු වන අනාස් නමැත්තා කළ ප්‍රකාශය ද විත්තිකරු ප්‍රතික්ෂේප කළේය.
'ජිහාද්' යන්නෙහි අර්ථය:
ඉස්ලාමීය ඉගැන්වීම් අනුව ආත්මාරක්ෂාව හෝ රාජ්‍යයක නීත්‍යානුකූල පාලකයෙකු ගන්නා තීරණයක් මත පමණක් සන්නද්ධ අරගලයක් සිදුකළ හැකි බව විග්‍රහ කළ බවත්, සාක්ෂිකරු විසින් එම දේශනයෙන් තෝරාගත් කොටසක් පමණක් උපුටා දක්වමින් විකෘති කර ඇති බවත් ඔහු පැවසීය.
අන්තවාදී ක්‍රියාකාරකම් නොමැති බව:
අදාළ දේශන පැවැත්වූ ස්ථානවලදී අවි පුහුණුව, ISIS ධජ ප්‍රදර්ශනය කිරීම හෝ ස්වයං ඝාතක ප්‍රහාරකයින් තෝරා ගැනීම වැනි කිසිදු ක්‍රියාවක් සිදු නොවූ බව ඔහු අවධාරණය කළේය.
සාක්ෂි නොමැති බව පවසමින් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලීමක්
සහරාන් හෂීම් හෝ අනෙකුත් බෝම්බකරුවන් සමඟ එක්ව තමන් ප්‍රහාරය කුමන්ත්‍රණය කළ බවට හෝ සැලසුම් කළ බවට කිසිදු සෘජු සාක්ෂියක් පැමිණිල්ල විසින් අධිකරණයට ඉදිරිපත් කර නොමැති බව විත්තිකරු ප්‍රකාශ කළේය. වත්තලදී තමන්ට 9mm ගිනි අවියක් ලබාදුන් බවට පොලිසිය කළ ප්‍රකාශ තහවුරු කිරීමට ද සාක්ෂි නොමැති බව ඔහු පෙන්වා දුන්නේය.
තමන්ට එරෙහිව නගා ඇති චෝදනාවලට අදාළ කිසිදු වරදක් තමන් සිදු කර නොමැති බැවින් සියලු චෝදනාවලින් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස නවුෆර් මවුලවි ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලෙන් ඉල්ලා සිටියේය.




