*අතුරුදන් වූ 8 හැවිරිදි දැරිය ගැන තවමත් තොරතුරක් නෑ.
නිරායුද දෙමළ වැසියන් පිරිසක් මරා දැමූ බවට රජයේ යුද හමුදාව වෙත චෝදනා එල්ල වී තිබෙන සමුහ ඝාතනයක හතලිස් එක් වැනි අනුස්මරණය නැගෙනහිර පළාතේ දී සිදු කර තිබේ.
පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ හතලිස් එක් වසරකට ඉහත දී සිදු වු සමුහ ඝාතනයෙන් ජීවිත අහිමි වුවන්ගේ නිවාස පිහිටා තිබු ත්‍රිකුණාමලය වරෝදයනගර් ප්‍රධාන මාර්ගය සමීපයේදී ඔවුන්ගේ ඥාතීන් විසින් ඉරිදා මලින් පහනින් හා සුවඳ දුමින් ඔවුන්ට උපහාර දැක්වු බවයි.
එහිදී 1985.08.17 වැනි දින ඝාතනයට ලක් වූ පුද්ගලයන් 10 දෙනකු ඇතුළු එම කාලසීමාව ආසන්නයේදී එම ප්‍රදේශයේ ඝාතනයට ලක් වූ සියලු දෙනා අනුස්මරණය කර තිබේ.
සමුහ ඝාතනයට ලක් වුවන්ගේ ඥාතීන් පවසන්නේ 1985 අගෝස්තු මස 17 වැනි සෙනසුරාදා උදෑසන කන්නියා ප්‍රදේශයේ සිට වරෝදයනගර් ප්‍රදේශයට ඩිෆෙන්ඩර් වර්ගයේ රථයකින් පැමිණි ශ්‍රී ලංකා යුද හමුදා භට පිරිසක් මාර්ගය දිගේ වෙඩි තැබීම් සිදු කළ බවයි.
එම වෙඩි තැබීම් වලින් ප්‍රදේශවාසීන් වු වෙල්ලයන් තිරුචෙල්වම් සහ ඔහුගේ මාමණ්ඩිය වන කන්දන් මාණික්කම් ඝාතනය වී ඇති අතර , ඩිෆෙන්ඩර් වර්ගයේ රථයකින් පැමිණි ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායමක් පසුව කන්දයියා මාර්ගය දෙසට ගමන් කරමින් සිදු කළ වෙඩි තැබීම් වලින් සීනියන් මාණික්කම් ඝාතනය වී තිබේ.
පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ වෙඩි තැබීම් වලින් සිදු වු ඝාතන හමුවේ භිතියට පත් ගම්වාසීන් ජීවිත ආරක්ෂාව පතා අසල්වැසි නිවාසවලට ගොස් සැඟවී ඇති බවයි.
එලෙස ගම්වාසීන් ආරක්ෂාව පතා රැඳී සිටි එක් නිවසකට එදින එල්ල වු බෝම්බ ප්‍රහාරයකින් ගුණරාසා වසීකලා, ගුණරාසා සංගර්, ගුණරාසා ගෙංගා, තේසිංගන් ඉම්බන්, තේසිංගන් ජයන්ති යන එකම පවුලේ සාමාජිකයන් 5 දෙනකු සහ රාසරත්නම් රබේන්ද්‍ර රාසා හා කදිර්ගාමු නාගේස්වරී යන දෙදෙනාත් ඝාතනය වී තිබේ.
සවස් කාලයේදී ගම්වාසීන් විසින් මළ සිරුරු සහ තුවාල ලැබූවන් ත්‍රිකුණාමලය රෝහල වෙත රැගෙන යාමට කටයුතු කර ඇත. ඝාතනයට ලක් වුවන්ගේ ඥාතීන් පවසන්නේ එහිදී ප්‍රතිකාර සඳහා ඇතුළත් කර සිටි වසය අවුරුදු 8ක් වන දියණියක් අතුරුදන් වු අතර අද දක්වාම ඇය සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් නොමැති බවයි.





