*වර්ග සංහාර චෝදනා විමර්ශනයට ජාත්‍යන්තර යාන්ත්‍රණයක්, චූදිත නිලධාරීන්ට සංචාරක තහනම් සහ ස්වයං නිර්ණ අයිතිය වෙනුවෙන් ජනමත විචාරණයක් ඉල්ලා උතුරේ දැවැන්ත විරෝධතා පාගමනක්.
වර්ග සංහාරයක් සිදු කිරීමේ චෝදනාවට ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තර විමර්ශනයක් සිදු කිරීමට අදාළ තීරණයක් ගැනීමට ලබන සැප්තැම්බරයේ ආරම්භ වීමට නියමිත ජිනීවා මානව හිමිකම් සමුළුවේ 63 වැනි සැසිවාරයේදී සියලු රටවල් විසින් අවධාරණය කළ යුතු බවට මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරයාට උතුරෙන් ඉල්ලීමක් ඉදිරිපත් කර තිබේ.
දෙමළ ජනතාවට එරෙහි සමුහඝාතන, බලහත්කාර අතුරුදහන් කිරීම්, ඇතුළු බරපතල මානව හිමිකම් උල්ලංඝන සඳහා යුක්තිය හා වගවීමත්, ඒ වෙනුවෙන් ජාත්‍යන්තර විමර්ශනත් ඉල්ලා සිටිමින් ශ්‍රී ලංකාවේ සුවිශාලම සමූහ සුසානය පිහිටි චෙම්මනිය පෙනෙන තෙක් මානයෙන් යුද වින්දිතයන් අගෝස්තු 14 වැනිදා ආරම්භ කළ நீதியின் ஓலம் (යුක්තියේ විලාපය) සිව්දින ප්‍රදර්ශනය අගෝස්තු 17 වැනිදා අවසන් කර ඇත්තේ යාපනය පුස්තකාලය අසල සිට යාපනයේ පිහිටි එක්සත් ජාතීන්ගේ සංක්‍රමණ සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය (IOM) වෙත විරෝධතා පා ගමනින් ගොස් සිය ඉල්ලීම් ඇතුලත් සන්දේශයක් එම සංවිධානය වෙත බාර දෙමිනි.

මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් වෙත යොමු කරන ලෙස ඉල්ලමින් (Homeland Task Force - මාතෘභූමියේ කාර්ය සාධක බලකාය) ඇතුළු යුද වින්දිතයන් මහ පිරිසක් යාපනයේ පිහිටි එක්සත් ජාතීන්ගේ සංක්‍රමණ සඳහා වූ ජාත්‍යන්තර සංවිධානයට බාර දුන් එම සංදේශය මගින් තව දුරටත් ඉල්ලා ඇත්තේ දෙමළ ජනතාව ඉලක්ක කර සිදු කළ වර්ග සංහාරය, යුද අපරාධ සහ මිනිස් සංහතියට එරෙහිව සිදු කළ වැරදි සඳහා විශ්වසනීය ලෙස සම්බන්ධ වූ බවට පැවසෙන ශ්‍රී ලංකාවේ දේශපාලන, හමුදා, බුද්ධි අංශ, පොලිස් සහ පරිපාලන නිලධාරීන්ට එරෙහිව පනවා ඇති විදෙස් ගමන් තහනම් සියලු රටවල් විසින් අනුමනය කළ යුතු බවයි.
යාපනය පුස්තකාලය අසල සිට යාපනයේ පිහිටි එක්සත් ජාතීන්ගේ සංක්‍රමණ සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය (IOM) වෙත විරෝධතා පුවරුද ප්‍රදර්ශනය කරමින් දියත් කළ විරෝධතා පා ගමන සදහා උතුරු නැගෙනහිර දෙපළාතේ බලහත්කාරයෙන් අතුරුදහන් කළවුවන්ගේ ඥාතීන්, දෙමළ දේශපාලනඥයන්, මානව හිමිකම් ක්‍රියාකාරීන් මෙන්ම යාපනය විශ්ව විද්‍යාලයේ උපාධි අපේක්ෂක දෙමළ සිසුන් විශාල පිරිසක්ද එක්ව සිටි බව පළාත් බද වාර්තාකරුවෝ වැඩි දුරටත් පවසති.
දෙමළ ජනතාවට එරෙහි සමුහඝාතන, බලහත්කාර අතුරුදහන් කිරීම් ඇතුළු මානව හිමිකම් උල්ලංඝන සඳහා යුක්තිය හා වගවීමත්, ඒ වෙනුවෙන් ජාත්‍යන්තර විමර්ශනත් ඉල්ලා සිටින (යුක්තියේ විලාපය) ප්‍රදර්ශනය පසුගිය වසරේද Homeland Task Force සංවිධානත්වයෙන් ශ්‍රී ලංකාවෙන් මෙතෙක් හමුවු සුවිශාලම සමූහ සුසානය පිහිටි චෙම්මනිය පෙනෙන තෙක් මානයේ සිදු කර තිබුනි.
ශ්‍රී ලංකාවේ ස්ථිර සාමය ඇතිවීමට දෙමළ නිජබිම, ජාතිකත්වය, ස්වයං නිර්ණය යන කරුණුවල පිළිගැනීමක් ලබා දිය යුතු බව අවධාරණය කරන Homeland Task Force ක්‍රියාකාරීන් ලෝකවාසී ජනතාව ඉදිරියේ දෙමළ ජනයා වන තමන්ගේ ඉරණම තමන් විසින් තීරණය කිරීමට, දෙමළ ජනයා විසින්ම දෙමළ ජනයා පාලනය කිරීමට ස්ථිර විසඳුමක් ලබාගැනීමට ජනමත විචාරණයක් පවත්වන ලෙසට ලෝකවාසී ප්‍රජාවගෙන් ඉල්ලා සිටිමින් මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් වෙත යොමු කරන ලෙස ඉල්ලමින් යාපනයේ පිහිටි එක්සත් ජාතීන්ගේ සංක්‍රමණ සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය වෙත බාරදුන් සන්දේශයේ ඇතුලත් ඉල්ලීම් මාලාව පහත පරිදි වේ.
සන්දේශයේ ඇතුලත් ඉල්ලීම්
1. නිජබිම, ජාතිකත්වය, ස්වයං නිර්ණය අයිතිය පිළිගත යුතුය.
2. බලහත්කාරීලෙස අතුරුදන් කළ වූවන් සොයන ඥාතීන්ට කඩිනමින් ජාත්‍යන්තර යුක්තිය ඉටු කළ යුතුය.
3. දීර්ඝ කාලයක් සිට බන්ධනාගාර ගතව සිටින දෙමළ දේශපාලන සිරකරුවන් කිසිදු කොන්දේසියකින් තොරව නිදහස් කළ යුතුය.
4. මාධ්‍යවේදීන්ට ස්වාධීන ලෙස සිය මාධ්‍ය කටයුතු සිදුකිරීමට අවසරය ලබා දිය යුතුය.
5. දෙමළ ජනතාව මර්දනය කිරීම සඳහා වර්තමානයේ භාවිතයේ පවතින ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත, මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත වහාම අහෝසි කරන ලෙස අවධාරණය කළ යුතුය. එමෙන්ම දෙමළ ජනතාවගේ භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස, සම්පත් අත්පත් කරගැනීමේ අයිතිය, යුක්තිය ඉල්ලා සිටීමේ අයිතිය, ගමන්බිමන් යාමට ඇති අයිතිය පිළිගන්නා ලෙසට අවධාරණය කළ යුතුය.
6. ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, වනජීවි දෙපාර්තමේන්තුව, මහවැලි සංවර්ධන අධිකාරිය, වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව යන නාමයෙන් සිදු කරනු ලබන සියලු ආකාරයේ ඉඩම් ආක්‍රමණය කිරීමේ සැලසුම් නතර යුතු අතරම ආක්‍රමණය කර ඇති අපගේ ඉඩම් එහි හිමිකරුවන් වෙත නැවත ලබා දිය යුතුය.
7. දෙමළ නිජබිමෙහි භූමියේ ඒකීයභාවය සහ ජනගහන ප්‍රතිශතය වෙනස්කිරීමේ අරමුණින් සැලසුම් සහගත ලෙස සිදු කරනු ලබන සියලු සිංහල ජනාවාස ඇති කිරීම් ඉවත්කර බෞද්ධකරණය නතර කළ යුතුය.
8. චෙම්මනි ඇතුළු සියලු සමූහ සූසාන සඳහා සම්පූර්ණ ජාත්‍යන්තර යුක්තිය, DNA පරීක්ෂණ, කාබන් කාල නිර්ණය පරීක්ෂාව, GPR තාක්ෂණය, සැපයුම් ජාල ආරක්ෂාව, බලපෑම්වලට ලක් වූ පවුලේ ඥාතීන්ගේ සහභාගීත්වය, සාක්ෂි ආරක්ෂා කිරීම සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ (OHCHR) හෝ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් කාර්යාලයේ ශ්‍රී ලංකා වගවීමේ ව්‍යාපෘතියේ (OSLAP) අධීක්ෂණය සාක්ෂි ආරක්ෂාව සමග ස්වාධීන ජාත්‍යන්තර අධිකරණ වෛද්‍ය පරීක්ෂණයකට යොමු කළ යුතුය. මූල්‍ය පහසුකම් නොමැතිවීම, නිපුණත්වය ප්‍රමාණවත් නොවීම නැතහොත් දේශපාලන මැදිහත්වීම් හේතුවෙන් කිසිදු විමර්ශනයක් ප්‍රමාද කිරීමක් හෝ දුර්වල කිරීමක් හෝ සාක්ෂි විනාශ කිරීමක් හෝ සැඟවීමක් හෝ සිදු නොකළ යුතුය.
9. දෙමළ ජනතාව ඉලක්ක කර සිදු කළ වර්ග සංහාරය, යුද අපරාධ සහ මිනිස් සංහතියට එරෙහිව සිදු කළ වැරදි සඳහා සම්බන්ධ වූ බවට විශ්වසනීය ලෙස පැවසෙන ශ්‍රී ලංකා දේශපාලන, හමුදා, බුද්ධි අංශ, පොලිස් සහ පරිපාලන නිලධාරීන්ට එරෙහිව පනවා ඇති විදෙස් ගමන් තහනම සියලු රටවල් විසින් අනුමනය කළ යුතුය.
10. දෙමළ වර්ග සංහාරයෙන් බලපෑමට ලක් වූවන් සහ සාක්ෂි ආරක්ෂා කිරීමට එක්සත් ජාතීන්ගේ කාර්යාලය පියවර ගත යුතුය.
11. ලබන සැප්තැම්බර් මාසයේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 63 වැනි නිත්‍ය සැසිවාරයේ දී වර්ග සංහාරයක් සිදු කළ ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තර විමර්ශනයක් සිදු කිරීමට අදාළ තීරණයක් ගැනීමට සියලු රටවල් අවධාරණය කළ යුතුය.
12. දෙමළ වර්ග සංහාරයක් සිදු කර අඛණ්ඩව දෙමළ නිජබිම් ආක්‍රමණය කරමින් සැලැසුම් සහගතව වර්ග සංහාරයක් සිදු කරමින් සිටින ශ්‍රී ලංකා හමුදාව නිජබිමෙන් වහාම ඉවත් කළ යුතුය.
13. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් කාර්යාලයේ ශ්‍රී ලංකා වගවීමේ ව්‍යාපෘතියේ (OSLAP) නියෝග, වසර ගණනක මූල්‍ය වෙන්කිරීම්, තාක්ෂණික හැකියාවන් සහ ආරක්ෂිත සාක්ෂි ආරක්ෂණ ක්‍රමවේදයන් වත්මන් 2027 වාර්තාව ඉදිරිපත් කිරීමෙන් පසුව ද දීර්ඝ කර ශක්තිමත් කළ යුතුය.
14. දෙමළ ජනතාව බලහත්කාරයෙන් අතුරුදන් කිරීම, වර්ග සංහාරය කිරීම, යුද අපරාධ සහ මිනිස් සංහතියට එරෙහිව සිදු කළ අපරාධ සම්බන්ධයෙන් ස්වාධීන ජාත්‍යන්තර විමර්ශනයක් වහාම ආරම්භ කළ යුතුය.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ සිරියාව සඳහා වන IIIM සහ රුවන්ඩාව සඳහා වන ICTR වැනි නිදසුන් සැලකිල්ලට ගෙන ලංකාව සම්බන්ධයෙන් ස්වාධීන, අපක්ෂපාතී ජාත්‍යන්තර වගවීම් ක්‍රමවේදයක් ඇති කිරීමට අවධාරණය කළ යුතුය. මෙම ක්‍රමවේදයෙන් සාක්ෂි රැස්කර, සම්බන්ධිකරණ කර, විශ්ලේෂණය කර, ආරක්ෂා කර, චෝදනාවට ලක් වූ තැනැත්තන් හඳුනාගෙන අනාගත ජාත්‍යන්තර සහ දේශීය නඩු සඳහා නඩු ගොනු සකස් කළ යුතුය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සභාවේ, ලංකාවේ දෙමළ ජනතාවට එරෙහිව සිදු කළ ජාත්‍යන්තර අපරාධවල වගවීම සහතික කිරීමට ලංකාවේ තත්ත්වය ජාත්‍යන්තර අපරාධ අධිකරණයට (ICC-යට) නිර්දේශ කිරීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සලයටත්, ලංකාවේ ජාත්‍යන්තර නීතිය පිළිබඳ වගවීම පිළිබඳව ICJ උපදෙස් ලබාගැනීමට එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලය සහ ආරක්ෂක කවුන්සිලයටත් අවධාරණය කළ යුතුය. තවද වර්ග සංහාර සම්මුතියේ 09 වැනි වගන්තිය (Article IX) යටතේ ශ්‍රී ලංකා රජයේ වගකීම ජාත්‍යන්තර අධිකරණය හමුවට රැගෙන යාමට සාමාජික රටවල් අවධාරණය කළ යුතුය.
15. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් සභාව විශ්ව අධිකරණ බලය ඇතුළත් සාමාජික රටවල්, දෙමළ ජනයාට එරෙහිව සිදු වූ වර්ග සංහාරය, යුද අපරාධ, මිනිස් සංහතියට එරෙහිව කළ අපරාධ, බලහත්කාරයෙන් සිදු කළ අතුරුදහන් කිරීම් සහ සැලැසුම් සහගතව සිදු කරන ලද වර්ග සංහාර චෝදනා සම්බන්ධයෙන් වගකිව යුතුයැයි විශ්වසනීය ලෙස සැලකෙන ශ්‍රී ලංකා රජයේ දේශපාලන, හමුදා, බුද්ධි අංශ, පොලීසිය සහ පරිපාලන නිලධාරීන්ට එරෙහිව සිය දේශීය අධිකරණයක අපරාධ විමර්ශන කිරීම සහ නඩු ගොනු කිරීම ආරම්භ කරන ලෙසට අවධාරණය කළ යුතුය. මෙම නඩු විභාගයට OSLAP රැස් කළ සාක්ෂි සහ OHCHR ආරක්ෂා කළ සාක්ෂි භාවිත කළ යුතුය. ලංකාවේ ස්ථිර සාමය ඇතිවීමට දෙමළ නිජබිම, ජාතිකත්වය, ස්වයං නිර්ණය යන කරුණුවල පිළිගැනීමක් ලබා දිය යුතුය. ලෝකවාසී ජනතාව ඉදිරියේ දෙමළ ජනයා වන අපගේ ඉරණම අප විසින් තීරණය කිරීමට, අප විසින් අප පාලනය කිරීමට ස්ථිර විසඳුමක් ලබාගැනීමට ජනමත විචාරණයක් පවත්වන ලෙසට මෙම ප්‍රකාශනය මඟින් ලෝකවාසී ප්‍රජාවගෙන් ඉල්ලා සිටිමු.





