BREAKING
ඇල්ල නිව්බර්ග් තේ කම්හල සුපිරි හෝටලයක් වෙයි●සයිබර් ජාතිකවාදය: ඇල්ගොරිතම වෙළඳපොළට හසු වූ අධි-ප්‍රබන්ධ දේශපාලනය (දීප්තිගේ වීඩියෝවක්)●බ්‍රිතාන්‍ය දුම්රියකදී කාන්තාවකට ලිංගික අතවර කළ ශ්‍රී ලාංකිකයෙකුට සිරදඬුවම්●'මඩොල් දූව' ස්වීඩන් පාසල් දරුවන් අතරට යයි●දළ පූට්ටුවා ඝාතනය: වසර ගණනාවකට පසුත් යුක්තිය ප්‍රමාද ඇයි?●ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් ශ්‍රී ලංකාවේ ආයෝජන ගැන වාර්තාවක්●රෝසි සේනානායකගේ පුත් කණිෂ්ක සේනානායක අභාවප්‍රාප්ත වෙයි●සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●
Top Ad
පුවත්

පාස්කු ප්‍රහාර නඩුව: 'චෝදනා ගෙතූ ඒවා; පාපොච්චාරණ ගත්තේ වදදීලා' – විත්තිකරුවන් කූඩුවේ සිට කියයි

T

The Leader Desk

August 19, 2026 • 4:09 AM

පාස්කු ප්‍රහාර නඩුව: 'චෝදනා ගෙතූ ඒවා; පාපොච්චාරණ ගත්තේ වදදීලා' – විත්තිකරුවන් කූඩුවේ සිට කියයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • *දෙවන විත්තිකරු ගෆූර් මාමා ඇතුළු විත්තිකරුවන්ගෙන් පැය ගණනාවක විත්තිවාචක
  • පසුගිය 17 වනදා විත්තිකරුවන් 7 දෙනෙකු ප්‍රකාශ ලබා දුන් අතර, 18 වනදා තවත් විත්තිකරුවන් 8 දෙනෙකු සිය විත්තිවාචක අධිකරණයට ඉදිරිපත් කළහ.
  • ද්‍රවිඩ බසින් සිදු කෙරුණු ප්‍රකාශ සමකාලීනව සිංහල බසට පරිවර්තනය කෙරිණි.
  • "ස්වාමීනි, සහරාන් සහ හස්තුන් ඇතුළු මරාගෙන මැරෙන ප්‍රහාරකයින් සමඟ එක්ව අන්තවාදය පැතිරවූ බවටත්, දේශන පැවැත්වූ බවටත් මට නගා ඇති චෝදනා මම සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා.
අකුරු ප්‍රමාණය (Font Size):


*අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් එල්ල වූ බලපෑම් ගැන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලට හෙළිදරව්වක්

2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාව කුමන්ත්‍රණය කිරීම සහ ඊට ආධාර අනුබල දීම ඇතුළු අධිචෝදනා 23,270ක් යටතේ විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා ගොනු කර ඇති නඩුවේ විත්තියේ වාචික ප්‍රකාශ සටහන් කර ගැනීම කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මේ වන විට සිදු කෙරේ.

නවරත්න මාරසිංහ, රාමනාදන් කන්නන් සහ සුජීව නිශ්ශංක යන මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ විභාග වන මෙම නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි විභාගය අවසන් වීමෙන් අනතුරුව, විත්තිකරුවන් විත්ති කූඩුවේ සිට සිය ප්‍රකාශ ලබා දීම ආරම්භ කළේය. පසුගිය 17 වනදා විත්තිකරුවන් 7 දෙනෙකු ප්‍රකාශ ලබා දුන් අතර, 18 වනදා තවත් විත්තිකරුවන් 8 දෙනෙකු සිය විත්තිවාචක අධිකරණයට ඉදිරිපත් කළහ. ද්‍රවිඩ බසින් සිදු කෙරුණු ප්‍රකාශ සමකාලීනව සිංහල බසට පරිවර්තනය කෙරිණි.

"මගේ දුවත් මියගියේ බෝම්බෙන්; මාව නිදොස් කොට නිදහස් කරන්න" – දෙවන විත්තිකරු 'ගෆූර් මාමා' 

නඩුවේ දෙවන විත්තිකරු වන මොහොම්මදු සරීපු අදාම් ලෙබ්බේ හෙවත් 'ගෆූර් මාමා' විත්ති කූඩුවේ සිට පැය දෙකකට ආසන්න කාලයක් ප්‍රකාශයක් කරමින් තමන්ට එරෙහි සියලු චෝදනා තරයේ ප්‍රතික්ෂේප කළේය.

"ස්වාමීනි, සහරාන් සහ හස්තුන් ඇතුළු මරාගෙන මැරෙන ප්‍රහාරකයින් සමඟ එක්ව අන්තවාදය පැතිරවූ බවටත්, දේශන පැවැත්වූ බවටත් මට නගා ඇති චෝදනා මම සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. මාවයි මගේ පුතුන් දෙදෙනාවයි අත්අඩංගුවට අරගෙන එකම සිර මැදිරියක දැම්මා. CID නිලධාරීන් මගේ මුදල් සහ බඩු බාහිරාදිය ගත්තා. ලේඛනවලට අත්සන් කරන්නැයි බලකරමින් අත්පා බැඳ දරුණු ලෙස පහර දුන්නා. මාංචු දමා දවස පුරා එල්ලා තැබුවා."

තමන් කිසිදු දිනෙක නුවරඑළිය ප්‍රදේශයට ගොස් නොමැති බවත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගොතන ලද චෝදනා ඉදිරිපත් කර ඇති බවත් ඔහු පැවසීය. තවදුරටත් අදහස් දැක්වූ ඔහු, "සයින්දමරුදු පිපිරීමෙන් මගේ දියණිය, බෑනා සහ මුණුබුරන් මියගියා. මම ස්වයං ඝාතක ප්‍රහාරයකට උදව් කළා නම් මාත් මගේ දුව මියගිය තැනට ගොස් මියයනවා. අපේ ආගම අනුව සියදිවි නසාගැනීම පාපයක්. මේ සියල්ල ගොතන ලද චෝදනා බැවින් මා නිදොස් කොට නිදහස් කරන්න," යැයි ඉල්ලා සිටියේය.

නඩුවේ දෙවන විත්තිකරු වන ගපුර් මාමා විත්ති කූඩුවේ සිට සිය විත්තිවාචකය ඉදිරිපත් කරමින් මෙසේ පැවසිය.

" ස්වාමීනි.... මෙම නඩුවෙන් මට චෝදනා එල්ල කරලා තිබෙනවා පාස්කු ප්‍රහාරය සිදු කළ සහරාන්, හස්තුන්, ඇතුළු මරාගෙන මැරෙන ප්‍රහාරකයින් ඇතුළු නව දෙනෙකු සමග තමන් එක්ව ජාතික එකමුතුව  බිඳ හෙලමින් අන්තවාදය හා ත්‍රස්තවාදය උත්සන්න වන ආකාරයේ ක්‍රියාවන් සිදුකළ බවට. ඒ වගේම තවත් චෝදනාවක් එල්ල කර තිබෙනවා අන්තවාදී හා ත්‍රස්තවාදී දේශන  පවත්වමින් ජාතීන් අතර එකමුතුව හා සංහිඳියාව බිඳ හෙලමින් තමා කටයුතු කළ බවට. එම ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් මට එරෙහිව මේ නඩුව තුළින් එල්ල කර තිබෙන සියලු චෝදනා මා ප්‍රතික්ෂේප කරනවා."

''මාව අත්අඩංගුවට ගත්තා මුලින්ම. පස්සේ මගේ වැඩිමල් පුතා සහ දෙවනි පුතාවත් අත්අඩංගුවට ගත්තා. අපි දන්නේ නැ ඇයි අපිව ගත්තේ කියලාවත්. අපි තුන් දෙනාම  එකම සෙල් එකේ දලා තිබ්බේ. පස්සේ මාව ත්‍රස්ත විමර්ශන අංශයේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට මාව භාර දුන්නා. ඒ නිලධාරීන් මගේ රුපියල් 9000ක්, බෙල්ට් එක, පර්ස් එක, දුරකථන එහෙමත් ගත්තා. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව තුළ මාව  පමණ රැඳවුම් නියෝග මත රඳවා ගෙන සිටියා.  එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින්  ප්‍රකාශ ගණනාවක් සටහන් කරගත්තා.

මුලින්ම ප්‍රකාශ සටහන් කර ගන්නවා. පසුව මුද්‍රණය කළ ප්‍රකාශ අඩංගු ලේඛන වලට අත්සන් කරන්න කියනවා මං ඒවාට අත්සන් කරේ නැ. මගේ අත්දෙක බැන්දා, ඇස් බැන්දා. මට පුළුවන් තරම් පහර දුන්නා. එක එක ඉරියව් වලට මට මාංචු දාලා දවසම එල්ලලා තිබ්බා. මට මාංචු දලා තියෙද්දි නිදා ගන්න බැ. මට ගහනවා එත් නිදා ගන්න කියලා. මං රිවොල්වරයක් තිබුනු තැනක් පෙන්නු බව කියනවා. මං එහෙම තැනක් දන්නේවත් නැ. මං නුවරඑළියේ පංති ගියා කියනවා. මං අදටත් මේ අවුරුදු 67ටම කවදාවත්  නුවරඑළියේ ගිහින් නැ.  CID එක චෝදනා ගොතලා සකස් කරලා. මගේ ඇඟිලි සලකුණුවත් DNA වත් කොහෙවත් නැ. මාව පුත්තලමට එක්ක ගියා. මගේ ඇස් බැඳලා තිබ්බේ. ගැලෙව්වාම මං දැක්කා මේ නඩුවේ 8වන සැකකරු එතැන මාංචු දලා ඉන්නවා.

CID  එකේ අබේසිංහ මහතා ඡායාරූප පෙන්නලා අඳුර ගන්න කියනවා. මට කණ්ණාඩිය නැතුව පෙන්නැ. දන්නැ කිව්වා හොඳටම ගහනවා. මගේ පිටිපස්ස හොඳටම තුවාල වුනා. දුඹුරු පාට බේතක් දුන්නා ගා ගන්න කියලා. අදටත් තුවාල කැලැල් තියනවා. මං සහරාන්ගේ මමා වුන එකයි මාත් එක්ක තියන කෝපය.  මගේ ඉස්සරාම ඌරු මස් ගෙන්න සල්ලි දුන්නා. කවරෙක ඔතලා මස් ගෙනල්ලා ඔක්කොම කන්න කියලා ගැහුවා. කැවාට පස්සේ රසද ඇහුවා (අඬමින්) අපිට කැමට හොඳ නැති දෙයක් කලා රහ කියන්නේ කොමද මං.

2021 මගේ බිරිඳ ඇතුළු හැමෝම බන්ධනාගාරගත කරා. අවුරුදු තුනකට පස්සේ නිදහස් කරා. මගේ දුව බැනා, මුනුබුරන් සයින්දමරුදු බොම්බෙට මිය ගියා.  මං ස්වයං ඝාතක ප්‍රහාරයකට උදව් කරා කියලා කියනවා. එහෙනම් මං දුව මිය තැනටම ගිහින් මැරෙනවා. අපේ ආගම අනුව දිවිනසා ගන්න පව් . මං මේ චෝදනා  ප්‍රතික්ෂේප කරනවා. මාව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලනවා. මේ ඔක්කොම CID එක ගොතන ලද චෝදනා."

සෙලෝටේප් සාක්ෂිය සහ ව්‍යාපාරිකයාගේ ප්‍රකාශය

හත්වන චුදිත මොහොමඩ් මන්සුර් මොහොමඩ් සනස්දීන් සිය ප්‍රකාශය ඉදිරිපත් කරමින් තමන් රසකැවිලි නිෂ්පාදන ව්‍යාපාරිකයෙකු බවත්, පානදුර ප්‍රදේශයේ නිවසකින් හමුවූ සෙලෝටේප් පටියක තිබූ ඇඟිලි සලකුණක් මුල් කරගනිමින් තමන් අත්අඩංගුවට ගෙන ඇති බවත් සඳහන් කළේය.

තමන් කිසි දිනෙක අදාළ නිවසට ගොස් නොමැති බවත්, තම වෙළෙඳසැලෙන් භාණ්ඩ මිලදී ගත් පිරිසකට ඇසුරුම් කිරීම සඳහා දුන් සෙලෝටේප් පටියක් එලෙස හමුවන්නට ඇති බවත් ඔහු අධිකරණයට දැන්වීය. තමන්ට සිදු වූ පහරදීම් සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍ය නිලධාරියා හමුවේද ප්‍රකාශ කළ බවත්, කිසිදු වරදක් නොකළ තමන් නිදහස් කරන ලෙසත් හෙතෙම ඉල්ලා සිටියේය.

07 වන චුදිත මොහොමඩ් මන්සුර් මොහොමඩ් සනස්දීන් විත්තිකුඩුවේ සිට සිය විත්තිවාචිකය ඉදිරිපත් කරමින් තවදුරටත් මෙසේ පැවසිය.

'' ස්වාමිනි මං මෙහොමඩ් සනස්දීන්..  2019 /04/ 27 නිවසේ සිටියදි දුම්මලසුරිය පොලිසිය මාව අත්අඩංගුවට ගත්තා. පස්සේ මාව CID එකට ගෙනවා.  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටියදී මට පහරදීම් සිදු වුණා. ඒ පිළිබඳව මුලින්ම අධිකරණ වෛද්‍ය නිලධාරියා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී මම ඒ පිළිබඳව කිව්වා. මං බුන්දි මස්කට් රසකැවිලි හදන ව්‍යාපාරයක් කරේ. මගේ ගෙදර මුදල් තිබුනා ලක්ෂ තුනක්. එවාත් අරගෙන තිබුනා. අදටත් මං දන්නැ එවාට මොකද වුනේ කියලා. මං නන්දලාල් කියන නිලධාරීගෙන් ඇහුවාම එයා කිව්වා ඒ සල්ලි මාවනැල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට භාර දුන් බව. මාව මාවනැල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරා. හැබැයි මුදල් ඉදිරිපත් කරනවා මං දැක්කේ නැ. මගේ ගෙදරට රසකැවිලි ගන්න අවා දවසක් කට්ටියක්. ඒ අයට මං සෙලෝටේප් පෙටිටි දුන්නා එවා දලා පැක් කර ගන්න. පානදුර ප්‍රදේශයේ නිවසකින් මගේ ඇඟිලි සලකුණු තියන සෙලෝටේප් එකක් අත්අඩංගුවට අරන් තියනවා. මං පිලිගන්නවා එක මගේ වෙන්න ඇති කියල. හැබැයි මං කවදාවත් පානදුරේ ගිහින් නැ. ඒ කියන ගෙදර මගේ ඇඟිලි සලකුණු DNA මුකුත් නැ. ටෙප් රොලේ විතරයි ඇඟිලි සලකුණු තියෙන්නේ. මං කිසිම වරදක් කරලා නැ. මේ සිද්ධියට මගේ කිසිදු සම්බන්ධයක් නැ. මාව නිදොස් කොට නිදහස් කරන්න කියලා ඉල්ලා සිටිනවා. ''

පාපොච්චාරණ ලබාගත්තේ බලහත්කාරයෙන්

අනතුරුව අබ්දුල් මනාෆ් මොහොමඩ් ෆිදර්වුස් (08 වන විත්තිකරු), අබ්දුල් ලතිෆ් මොහොමඩ් සාෆි (10 වන විත්තිකරු), මොහොමඩ් සවාහිර් මොහොමඩ් හසන් (12 වන විත්තිකරු), රෂිඩ් මොහොමඩ් ඊබ්‍රාහිම් (14 වන විත්තිකරු), රාසික් රසා හුසෙන් (18 වන විත්තිකරු) සහ කච්චි මොහොමදු මොහොමදු ජෙම්සිත් (19 වන විත්තිකරු) යන අයද සිය විත්තිවාචක ඉදිරිපත් කළහ.

මෙහිදී විත්තිකරුවන් කිහිපදෙනෙකුම අවධාරණය කළේ විමර්ශන නිලධාරීන් විසින් තම පවුල්වල සාමාජිකයන් අත්අඩංගුවට ගන්නා බවට බිය වද්දා සහ වදහිංසා පමුණුවා බලහත්කාරයෙන් පාපොච්චාරණ සටහන්වලට අත්සන් ලබාගත් බවයි.

නඩු විභාගයේ ඉදිරි පියවර

15 වන චුදිත මොහොමදු හනීෆා සෙයිනුල් ආබ්දින් හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් කළ ඉල්ලීම සලකා බැලූ අධිකරණය, ඔහුගේ විත්තිවාචකය පසුදිනට කල් තැබීමට අවසර ලබා දුන්නේය.

නඩුවේ 17 වන විත්තිකරු මේ වන විට මියගොස් ඇති අතර, 06 වන විත්තිකරු ප්‍රකාශ ලබා දීමෙන් වැළකී නිහඬව සිටීමට තීරණය කර ඇත. සෙසු විත්තිකරුවන් 08 දෙනාගේ විත්තිවාචක ලබා ගැනීම ඉදිරියට නියමිත අතර, විත්තියේ සාක්ෂි කැඳවීමද ඊට සමගාමීව සිදු කෙරේ.

අද දින (19) ඉතිරි චුදිතයන් 08 දෙනා විත්තිවාචික ඉදිරිපත් කෙරේ.

 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

පාස්කු ප්‍රහාර නඩුව: 'චෝදනා ගෙතූ ඒවා; පාපොච්චාරණ ගත්තේ වදදීලා' – විත්තිකරුවන් කූඩුවේ සිට කියයි | The Leader