නැවත පැමිණීමේ ක්‍රියාවලිය විනිවිදභාවයෙන් යුතු එකක් විය යුතු බවට මන්ත්‍රී ශානක්කියන්ගෙන් ඉල්ලීමක්
දශක ගණනාවක් තිස්සේ ඉන්දියාවේ සරණාගත කඳවුරුවල සහ ඉන් පිටත ජීවත්වන ශ්‍රී ලාංකික දෙමළ ජනතාවට ස්වේච්ඡාවෙන්, ආරක්ෂිතව සහ ගෞරවාන්විතව සිය මව්බිමට පැමිණීම සඳහා පවතින නීතිමය සහ ප්‍රායෝගික බාධා ඉවත් කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී විශේෂ අවධානයක් යොමුව තිබේ.
පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 27(2) යටතේ මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්කියන් රාසමානික්කම් විසින් යොමු කරන ලද ප්‍රශ්නාවලියකට පිළිතුරු දෙමින් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා මේ පිළිබඳව කරුණු පැහැදිලි කළේය.
නීතිමය ගැටලුවලට කැබිනට් අනුමැතියෙන් විසඳුම්
යුද සමයේදී වලංගු ගමන් බලපත්‍ර හෝ නිල වරාය/ගුවන් තොටුපළ හරහා නොගොස් ඉන්දියාවට සංක්‍රමණය වූ ශ්‍රී ලාංකිකයින් යළි මෙරටට පැමිණීමේදී ආගමන හා විගමන පනත යටතේ නීතිමය ක්‍රියාමාර්ගවලට මුහුණ දීමට සිදුවීමේ අවදානමක් පැවතිණි. පසුගිය වසරේදී පලාලි ගුවන්තොටුපළෙන් පැමිණි 75 හැවිරිදි සරණාගතයෙකු අත්අඩංගුවට පත්වීම වැනි සිදුවීම් හරහා සරණාගත ප්‍රජාව තුළ අනියත බියක් නිර්මාණය වූ බව මන්ත්‍රීවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
ඊට ප්‍රතිචාර දැක්වූ අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කළේ, යුද සමයේ නිසි අවසරයකින් තොරව රටින් පිටව ගිය පුරවැසියන්ට මෙරටට පැමිණීමේදී පැවති නීතිමය බාධා ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇති බවයි. ඒ අනුව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙත අවශ්‍ය උපදෙස් ලබා දී ඇති අතර, වර්තමානය වන විට ඔවුන්ට යළි පැමිණීමට එවැනි නීතිමය බාධාවක් නොමැති බවද අමාත්‍යවරයා පැවසීය.
මෙරටට පැමිණීමට අපේක්ෂා කරන පුද්ගලයින්ට චෙන්නායි හි පිහිටි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය හෝ ඉන්දියාවේ අනෙකුත් රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල හරහා සිය පුරවැසිභාවය තහවුරු කරගැනීමේ ලිපිලේඛන ඉදිරිපත් කළ හැකි බවත්, රාජ්‍ය බුද්ධි සේවාව හරහා සිදු කෙරෙන ආරක්ෂක නිෂ්කාශන ක්‍රියාවලියෙන් අනතුරුව ඔවුන්ට දිවයිනට පැමිණීමට අවස්ථාව සලසා ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් විස්තර කළේය.
පැහැදිලි මාර්ගෝපදේශ සංග්‍රහයක සහ ඒකාබද්ධ යාන්ත්‍රණයක අවශ්‍යතාව
රජය විසින් නීතිමය ලිහිල් කිරීම් සිදුකිරීම අගය කරමින් මන්ත්‍රී ශානක්කියන් රාසමානික්කම් අවධාරණය කළේ, එම තීරණ කඩදාසියකට පමණක් සීමා නොවී සරණාගතයින්ට පහසුවෙන් තේරුම් ගත හැකි විනිවිදභාවයකින් යුතු ක්‍රමවේදයක් බවට පත්විය යුතු බවයි.
ඒ අනුව:
| පුරවැසිභාවය තහවුරු කරගන්නා ආකාරය,
| අවශ්‍ය ලියකියවිලි සහ සම්බන්ධ විය යුතු ආයතන,
| ආරක්ෂක නිෂ්කාශන ක්‍රියාවලියට ගතවන නිශ්චිත කාලසීමාව,
| ප්‍රතික්ෂේප වීමක් සිදුවුවහොත් ඊට එරෙහිව අභියාචනා ඉදිරිපත් කිරීමේ ක්‍රමවේදය,
ඇතුළත් සවිස්තරාත්මක මාර්ගෝපදේශ සංග්‍රහයක් සකස් කර ඉන්දියාවේ කඳවුරුවල වෙසෙන ජනතාව අතර බෙදාහැරිය යුතු බවට යෝජනා විය.
නැවත පදිංචි කිරීම සහ ජීවනෝපාය සහාය
සරණාගතයින් යළි මව්බිමට පැමිණීම හුදෙක් ගුවන්තොටුපළෙන් රට තුළට ඇතුළුවීමෙන් පමණක් අවසන් නොවන බවත්, ඔවුන්ගේ වසර ගණනාවක ගෘහ උපකරණ හා දේපළ රැගෙන ඒම සඳහා විශේෂ ප්‍රවාහන හෝ නැව්/බෝට්ටු සේවාවක් සැලසීමේ වැදගත්කමත් මෙහිදී අවධාරණය කෙරිණි.
උතුරු සහ නැගෙනහිර පළාත්වල ජනගහන සංයුතිය ආරක්ෂා කරගැනීම මෙන්ම, වසර ගණනාවක් වෙන්ව සිටි පවුල් යළි එක්වීම මානුෂීය කාරණයක් බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා, නැවත පැමිණෙන ජනතාවගේ ඉඩම් හා දේපළ ගැටලු, නිවාස හා මූලික අවශ්‍යතා, ජීවනෝපාය සංවර්ධනය සහ වන්දි ලබාදීම යන සියල්ල එකම වහලක් යටින් විසඳීම සඳහා 'ඒකාබද්ධ නැවත පැමිණීමේ සහ පුනරුත්ථාපන ඒකකයක්' (Integrated Return and Rehabilitation Unit) පිහිටුවන ලෙස රජයෙන් ඉල්ලා සිටියේය.




