බියගැන්වීම් හමුවේ ගමන නොනවත්වන බවත්, ආණ්ඩු වෙනස් වුවද දෙමළ මර්දනය එලෙසම බවත් වව්නියා දිස්ත්‍රික් සංවිධායක කියයි.
රජයේ බුද්ධි අංශ නිලධාරීන් ලෙස තමන් හඳුන්වාගත් පිරිසක් සිය නිවසට පැමිණ බියගැන්වීම සම්බන්ධයෙන් පැමිණිල්ලක් ගොනු කිරීමට ගිය වන්නියේ දෙමළ දේශපාලන ක්‍රියාධරයකුට පොලිස් අවහිරකිරීමකටද මුහුණ දීමට සිදුවී තිබේ.
දෙමළ ජාතික ජනතා පෙරමුණේ (TNPF) වව්නියා දිස්ත්‍රික් සංවිධායක සුබ්‍රමනියම් තවපාලන් පවසන්නේ තමන් නිවසේ නොසිටි අවස්ථාවක පැමිණි කණ්ඩායම බිරිදගෙන් තමා සම්බන්ධ තොරතුරු විමසා ඇති බවට පැමිණිලි කිරීමට අගෝස්තු 12 වැනිදා ගිය අවස්ථාවේදී සිය පැමිණිල්ල බාර ගැනීම ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරීන් එය සටහන් කරගැනීමට එකඟ කරවාගැනීමට දිගු විවාදයක යෙදීමට සිදුවූ බවයි.
“මෙම බිය ගැන්වීම සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට කනකරායන්කුලම් පොලිස් ස්ථානයට ගිය අවස්ථාවේදී, එහිදී මගේ පැමිණිල්ල සටහන් කරගත නොහැකි බව මුලින් පැවසුවා. දිගු සාකච්ඡාවකින් හා වාද විවාදයකින් පසුව අවසානයේ මගේ පැමිණිල්ල සටහන් කරගනු ලැබුවා.”
සුබ්‍රමනියම් තවපාලන් මාධ්‍යවේදීන් හා වැඩි දුරටත් කියා සිටියේ තමන් රජයට එරෙහිව කටයුතු කිරීම සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් වාර්තාවක් ඉල්ලා ඇති බව බුද්ධි අංශ නිලධාරීන් බව කියාගත් පුද්ගලයන් සිය බිරිදගෙන් තොරතුරු විමසා ඇති බවයි.
“මා රජයට එරෙහිව කටයුතු කරන බවත්, ඒ සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ජනාධිපති ලේකම් කාර්යාලයෙන් තමන්ට දැනුම් දී ඇති බවත් පවසමින්, මා නිවසේ නොසිටි අවස්ථාවක බුද්ධි අංශ නිලධාරීන් යැයි කියාගත් තිදෙනෙකු ත්‍රිරෝද රථයකින් පැමිණ මගේ බිරිඳගෙන් මා සම්බන්ධයෙන් තොරතුරු ලබාගෙන තිබෙනවා.”
දෙමළ ජාතික ජනතා පෙරමුණේ වව්නියා දිස්ත්‍රික් සංවිධායක සුබ්‍රමනියම් තවපාලන් පවසන්නේ 2011 වසරෙන් පසුව තමන් මෙවැනි තර්ජනයකට මුහුණ දුන් හත්වැනි අවස්ථාව මෙය බවයි.
කුමන ආකාරයේ තර්ජන එල්ල කළද සිය ගමන නතර කළ නොහැකි බව මාධ්‍යවේදීන් හමුවේ අවධාරණය කළ දේශපාලන ක්‍රියාධරයා තව දුරටත් කියා සිටියේ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් යුතු වත්මන් ආණ්ඩුවද පෙර පැවැති ආණ්ඩු මෙන් දෙමළ ජනතාව මර්දනය කිරීම සම්බන්ධයෙන් කිසිදු වෙනසක් නොමැති බව මෙම සිදුවීමෙන් පැහැදිලි වන බවයි.




