BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
පුවත්

හේමරතන හිමි අධිකරණයට ආවේ විනිසුරුවන්ගේ දොරෙන් ද? වහාම සොයන්න මහේස්ත්‍රාත්ගෙන් නියෝග

T

The Leader Desk

August 21, 2026 • 4:45 PM

හේමරතන හිමි අධිකරණයට ආවේ විනිසුරුවන්ගේ දොරෙන් ද? වහාම සොයන්න මහේස්ත්‍රාත්ගෙන් නියෝග

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ප්‍රධාන දොරටුව මඟහැර VIP සැලකිලි ලැබුණු බවට පැමිණිල්ලෙන් දැඩි විරෝධයක්
  • "නීතිය ඉදිරියේ සියල්ලන් සමාන විය යුතුයි" - නීතිඥ චානක අබේවික්‍රම අදාළ සිදුවීම සම්බන්ධයෙන් ජාතික ළමාරක්ෂක අධිකාරියට මුල් පැමිණිල්ල ඉදිරිපත් කළ බිමල් රුහුණගේ වෙනුවෙන් පෙනී සිටි නීතිඥ චානක අබේවික්‍රම අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙසේ ප්‍රකාශ කළේය.
  • එසේ තිබියදී, බරපතළ අපරාධ චෝදනා එල්ල වී සිටින සැකකාර හිමියන් කිසිදු සෝදිසියකින් තොරව, සුඛෝපභෝගී මෝටර් රථයකින් විනිසුරුවරුන් පමණක් භාවිත කරන විශේෂ දොරටුවෙන් ඇතුළු කරගෙන තිබෙනවා.
  • දැනට දැඩි ඇප කොන්දේසි සහ විදේශ ගමන් තහනමක් මත පසුවන සැකකාර හිමියන් සහ දෙවන සැකකාර මව අද දින විවෘත අධිකරණයේ පෙනී සිටියහ.
අකුරු ප්‍රමාණය (Font Size):

නඩුව යළි ලබන වසරට: වෛද්‍ය වාර්තාව කඩිනමින් කැඳවීමට පියවර

බාලවයස්කාර දැරියක බරපතළ ලිංගික අපයෝජනයකට ලක් කිරීම සහ ස්ත්‍රී දූෂණය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින සැකකාර අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන්, අධිකරණ විනිසුරුවරුන් භාවිත කරන විශේෂ දොරටුවෙන් අධිකරණ සංකීර්ණයට ඇතුළු වූයේදැයි වහාම විමර්ශනයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිදු වික්‍රමරත්න පොලිස් ආරක්ෂක ඒකකයට නියෝග කළේය.

මෙම නඩුව අද (අගෝස්තු 21) අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේදී, පැමිණිලි පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කළ විශේෂ කරුණු දැක්වීමක් සැලකිල්ලට ගනිමින් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අනුරාධපුර මහාධිකරණ සංකීර්ණයේ පොලිස් ආරක්ෂක ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජී. ධර්මසිරි ට මෙම නියෝගය නිකුත් කළේය.


"නීතිය ඉදිරියේ සියල්ලන් සමාන විය යුතුයි" - නීතිඥ චානක අබේවික්‍රම

අදාළ සිදුවීම සම්බන්ධයෙන් ජාතික ළමාරක්ෂක අධිකාරියට මුල් පැමිණිල්ල ඉදිරිපත් කළ බිමල් රුහුණගේ වෙනුවෙන් පෙනී සිටි නීතිඥ චානක අබේවික්‍රම අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙසේ ප්‍රකාශ කළේය.

"අනුරාධපුර මහාධිකරණ සංකීර්ණ භූමියට සාමාන්‍ය මහජනතාව පැමිණෙන්නේ පොලිස් සෝදිසි කිරීම්වලට ලක්වීමෙන් අනතුරුව ප්‍රධාන දොරටුව හරහායි. එසේ තිබියදී, බරපතළ අපරාධ චෝදනා එල්ල වී සිටින සැකකාර හිමියන් කිසිදු සෝදිසියකින් තොරව, සුඛෝපභෝගී මෝටර් රථයකින් විනිසුරුවරුන් පමණක් භාවිත කරන විශේෂ දොරටුවෙන් ඇතුළු කරගෙන තිබෙනවා. උන්වහන්සේට මෙවැනි විශේෂ වරප්‍රසාදයක් හිමිවන්නේ අධිකරණ විනිසුරුවරයෙකු නිසාද? නීතිය ඉදිරියේ සෑම පුද්ගලයෙකුම එක හා සමාන විය යුතුයි. මේ තත්ත්වය සම්බන්ධයෙන් වගකීම පොලිසිය භාරගත යුතු අතර, ඒ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පැවැත්විය යුතුයි."

නීතිඥවරයාගේ මෙම කරුණු දැක්වීමෙන් අනතුරුව වහාම ක්‍රියාත්මක වූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා, මහාධිකරණ සංකීර්ණයේ ආරක්ෂක අංශ භාර ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා විවෘත අධිකරණයට කැඳවා, සැකකාර හිමියන් අධිකරණ භූමියට ඇතුළු වූ ආකාරය හා විශේෂ දොරටුවක් භාවිත කළේද යන්න පිළිබඳව පූර්ණ විමර්ශන වාර්තාවක් කඩිනමින් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියෝග කළේය.

එල්ල වී ඇති චෝදනා සහ නීතිමය පදනම

පොලිස් විමර්ශන වාර්තාවලට අනුව, පළමු සැකකාර පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව චෝදනා ගොනු කර ඇත්තේ 1995 අංක 22 දරන දණ්ඩ නීති සංග්‍රහ සංශෝධන පනතේ 365 (ආ) (2) (ආ) වගන්තිය යටතේ බාලවයස්කාර දැරියකට බරපතළ ලිංගික අපයෝජනය සිදු කිරීම සහ 364 (2) (ඉ) වගන්තිය යටතේ ස්ත්‍රී දූෂණය සිදු කිරීම යන වරදවල් යටතේය.

එමෙන්ම සිද්ධියට අදාළ වින්දිත දැරියගේ මව වන දෙවන සැකකාරියට එරෙහිව, 2006 අංක 16 දරන දණ්ඩ නීති සංග්‍රහ සංශෝධන පනතේ 360 (ඇ) (1) (අ) වගන්තිය ප්‍රකාරව 'තැනැත්තන් වෙළෙඳාම් කිරීම' සහ පළමු සැකකරුට අදාළ වැරදි සිදු කිරීමට ආධාර අනුබල දීම යටතේ කරුණු වාර්තා කර ඇත.

දැනට දැඩි ඇප කොන්දේසි සහ විදේශ ගමන් තහනමක් මත පසුවන සැකකාර හිමියන් සහ දෙවන සැකකාර මව අද දින විවෘත අධිකරණයේ පෙනී සිටියහ.

නීතිපති උපදෙස් සහ වෛද්‍ය වාර්තාව

නඩු විභාගය අතරතුර පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නිට්ටඹුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක පී.එම්. අනුර ගුණවර්ධන  අධිකරණයට දන්වා සිටියේ, මෙම සිද්ධියට අදාළ ඉදිරි නීතිමය පියවර සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත්වූ බවත්, ඒ අනුව නීතිපති උපදෙස් ලබාගැනීම සඳහා ඉදිරි දිනයක් ලබාදෙන ලෙසත්ය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා, වින්දිත දැරිය සම්බන්ධයෙන් සිදුකර ඇති අධිකරණ වෛද්‍ය පරීක්ෂණ වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා රාගම ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත සිතාසි නිකුත් කිරීමට නියෝග කළේය.

ඒ අනුව, නීතිපති උපදෙස් කැඳවීම සඳහා නඩුව 2027 ජනවාරි මස 08 වැනි දින දක්වා කල් තැබූ මහේස්ත්‍රාත්වරයා, එදිනට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස සැකකරුවන්ට නියෝග කළේය.

මෙම නඩු වාරයේදී පැමිණිල්ල වෙනුවෙන් නිට්ටඹුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක අනුර ගුණවර්ධන, එම පොලිස් ස්ථානයේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි පොලිස් පරීක්ෂක වසුන්දරා කරුණාරත්න සහ අනුරාධපුර මුලස්ථාන පොලිසියේ උප පොලිස් පරීක්ෂක ඒ.සී. දයානන්ද යන නිලධාරීන් පෙනී සිටි අතර, සැකකාර හිමියන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස සහ ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න ඇතුළු නීතිඥ මණ්ඩලයක් පෙනී සිටියහ.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...