*ඉඩම්වලට අමතරව නවීන කෘෂි තාක්ෂණය සමඟ ජීවනෝපාය නංවන පුළුල් වැඩපිළිවෙළක්
පසුගිය යුද සමයේදී ආරක්ෂක අංශ භාරයට ගත්, මේ වන විට නිදහස් කළ හැකි මට්ටමේ පවතින බවට හඳුනාගෙන ඇති උතුරු සහ නැගෙනහිර පළාත්වල සියලු ඉඩම් කඩිනමින් මුදාහැර අදාළ පාර්ශ්වයන් වෙත භාරදීමට පියවර ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක ආරක්ෂක අංශ වෙත ඍජු උපදෙස් ලබා දෙනු ලැබිය.
ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ යුද සමයේ හමුදා කඳවුරු ස්ථාපනය කිරීම උදෙසා පවරාගත් පෞද්ගලික ඉඩම් මෙන්ම ජනතාව විසින් පරිහරණය කරනු ලැබූ රජයේ ඉඩම් යළි ජනතාව වෙත පැවරීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති විශේෂ සාකච්ඡාවකදීය.
ජාතික ආරක්ෂාව සහ ජනතා අවශ්‍යතා අතර සමබරතාව
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ රටක ජාතික ආරක්ෂාව ප්‍රමුඛතම සාධකයක් වන බැවින්, ආරක්ෂාව තහවුරු කිරීම සඳහා හමුදා කඳවුරු ස්ථාපනය කළ යුතු උපායමාර්ගික ස්ථාන තීරණය කිරීමේ වගකීම ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ සතු වන බවයි.
එමෙන්ම, එම තාක්ෂණික හා ආරක්ෂක ඇගයීම් මත පදනම්ව නිදහස් කළ හැකි ඉඩම් සහ නිදහස් කළ නොහැකි ඉඩම් කවරේද යන්න සම්බන්ධයෙන් පැහැදිලි හා විධිමත් අවසන් තීරණයකට කඩිනමින් එළැඹිය යුතු බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.
උපරිම ඉඩම් නිදහස් කිරීම සහ ජීවනෝපාය සංවර්ධනය
ආරක්ෂක අංශ සඳහා අත්‍යවශ්‍ය වන ඉඩම් ප්‍රමාණය තීරණය කිරීමේදී හැකිතාක් මහජනතාවගේ සුබසාධනය හා අපේක්ෂාවන් කෙරෙහි සංවේදී වෙමින්, නිදහස් කළ හැකි උපරිම ඉඩම් ප්‍රමාණය බැහැර කිරීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා ආරක්ෂක බලධාරීන්ට දැනුම් දුන්නේය.
එසේ නිදහස් කරනු ලබන ඉඩම් භුක්තිය ලබා දීමට පමණක් සීමා නොවී, දීර්ඝ කාලයක් තිස්සේ අවතැන්ව සිටි එම ජනතාවගේ ආර්ථික ශක්තිය ගොඩනැඟීම උදෙසා ජීවනෝපාය මාර්ග සලසා දීමේ දැඩි අවශ්‍යතාව ද මෙහිදී සාකච්ඡාවට බඳුන් විය. ඒ අනුව, ඉහළ ඵලදායීතාවක් සහ ස්ථාවර ආදායමක් උත්පාදනය කළ හැකි නවීන කෘෂි තාක්ෂණයෙන් යුත් ව්‍යාපෘති එම ප්‍රදේශවලට හඳුන්වා දීමට කඩිනමින් සැලසුම් සකස් කරන ලෙස කෘෂිකර්ම, පශුසම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් දෙනු ලැබිය.
දේශපාලන සහ ආරක්ෂක අංශ නියෝජිතයන්ගේ සහභාගීත්වය
මෙම අවස්ථාවට ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මෙන්ම උතුරු හා නැගෙනහිර පළාත් නියෝජනය කරන පාර්ලිමේන්තු මහජන නියෝජිතයෝ රැසක් එක්ව සිටියහ.
මීට අමතරව, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල ජනක බණ්ඩාර, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඩී. පී. වික්‍රමසිංහ, ඉඩම් කොමසාරිස් ජනරාල් ඇතුළු ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ උසස් ආරක්ෂක නිලධාරීහු පිරිසක් ද මෙම සාකච්ඡාවට සහභාගී වූහ.





