දේශපාලන පළිගැනීම් වෙනුවට නවීන ආර්ථික දැක්මක් පෙරදැරි කරගත් වැඩපිළිවෙළක අවශ්‍යතාව පෙන්වා දෙයි
වත්මන් ජනාධිපතිවරයා දූෂණ හා වංචා පිටුදැකීම සම්බන්ධයෙන් නිරන්තරයෙන් කරුණු දක්වන්නේ නම්, ජනාධිපති ලේකම්වරයාට එල්ල වී ඇති බව කියන චෝදනා සම්බන්ධයෙන් පක්ෂග්‍රාහී නොවී නිසි ක්‍රියාමාර්ග ගනිමින් සිය සද්භාවය සනාථ කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ප්‍රකාශ කරයි.
කුලියාපිටිය ප්‍රදේශයේදී පැවති ජනහමුවක් අමතමින් මන්ත්‍රීවරයා අවධාරණය කළේ, වරාය පරිශ්‍රය කේන්ද්‍ර කරගනිමින් සිදුවූ බව කියන සිදුවීම් සම්බන්ධයෙන් විනිවිදභාවයෙන් යුතු විමර්ශනයක් සිදුවිය යුතු බවයි.
ජනතා බලාපොරොත්තු සහ ක්ෂේත්‍ර ගණනාවක ගැටලු
මැතිවරණ සමයේ ජනතාව වෙත ලබාදුන් පොරොන්දු සහ වර්තමානයේ රට තුළ නිර්මාණය වී ඇති ආර්ථික තත්ත්වය පිළිබඳව මෙහිදී කරුණු දැක්වූ නාමල් රාජපක්ෂ, ගොවි ජනතාව සහ පාරිභෝගිකයින් මුහුණ දෙන ප්‍රායෝගික දුෂ්කරතා අනාවරණය කළේය.
"එදා මැතිවරණ වේදිකාවලදී ජනතාවට විශාල බලාපොරොත්තු ලබාදුන්නා. නමුත් අද ගොවියාට වී සඳහා නිසි මිලක් නොලැබෙන අතරම, නගරයේ පාරිභෝගිකයාට සහල් මිල ඉහළ යාම නිසා දැඩි පීඩනයකට මුහුණ දීමට සිදුව තිබෙනවා. පොරොන්දු වූ පරිදි ක්ෂණික විසඳුම් ක්‍රියාත්මක නොවීම හේතුවෙන් විවිධ ක්ෂේත්‍ර ගැටලුවලට මුහුණ දී සිටිනවා."
එසේම තරුණ ව්‍යවසායකයින් මුහුණ දෙන අධික බදු බර, විදුලි හා ඉන්ධන ගාස්තු ඉහළ යාම හේතුවෙන් ව්‍යාපාර පවත්වාගෙන යාමේදී මතුව ඇති අභියෝග මෙන්ම රාජ්‍ය මූල්‍ය අංශවල පවතින ගැටලු සම්බන්ධයෙන්ද ඔහු සිය අදහස් පළ කළේය.
පදනම් විරහිත දේශපාලන චෝදනා සහ විපක්ෂයේ භූමිකාව
රට තුළ මතුවන සෑම ගැටලුවකටම විපක්ෂය දෙසට ඇඟිල්ල දිගු කිරීමේ දේශපාලන සංස්කෘතියක් නිර්මාණය වී ඇති බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා, හම්බන්තොට වරාය ආශ්‍රිතව මෑතකදී ඇතිවූ කතාබහක් සම්බන්ධයෙන්ද මෙසේ සඳහන් කළේය.
"අතීතයේදී විවිධ සුඛෝපභෝගී වාහන සම්බන්ධයෙන් අප වෙත පදනම් විරහිත චෝදනා එල්ල වුණා. මෑතකදී හම්බන්තොට වරායට ගොඩබාන ලද වාහන සම්බන්ධයෙන්ද එවැනිම කතා නිර්මාණය කිරීමට උත්සාහ ගන්නවා. අපි කිසිවිටෙකත් ජනාධිපතිවරයා හෝ කිසිදු පාර්ශ්වයක් වෙත පදනම් විරහිත චෝදනා එල්ල කරන්නේ නැහැ. දේශපාලනය කළ යුත්තේ වෛරයෙන් හෝ ක්‍රෝධයෙන් නොව නිසි ප්‍රතිපත්ති මත පදනම්වයි."
තාක්ෂණය හා නූතනත්වය මුසු ආර්ථික දැක්මක්
දේශපාලන මර්දනය හෝ චෝදනා හුවමාරු කරගැනීම වෙනුවට රට ඉදිරියට ගෙන යා හැකි නූතන ආර්ථික සහ තාක්ෂණික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම නාමල් රාජපක්ෂ අවසන් වශයෙන් පැහැදිලි කළේය.
සංස්කෘතික අනන්‍යතාවය සුරකිමින් ගෝලීය ප්‍රවණතාවලට ගැළපෙන පරිදි ආයෝජන අවස්ථා පුළුල් කිරීම, තාක්ෂණික දියුණුව සහ නව වෙළඳපොළ අවස්ථා නිර්මාණය කිරීම තුළින් අනාගත පරපුරට වඩාත් සුරක්ෂිත ආර්ථික පරිසරයක් ගොඩනැඟිය යුතු බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.




