* ජනාධිපතිවරයා හමුවී කරුණු දැක්වීමට අවස්ථාවක් ඉල්ලයි
ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනත යටතේ රැඳවුම් නියෝග මත රඳවා සිටින රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) හිටපු අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් සුරේෂ් සලේගේ රැඳවුම් කාලය තවදුරටත් දීර්ඝ නොකරන ලෙස ඉල්ලමින් ඔහුගේ මව වන ක්ලෝඩියා සලේ, (Claudia Mary Antoinette) ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපියක් යොමු කර තිබේ.
2026 අගෝස්තු 23 වැනි දිනැතිව ජනාධිපති ලේකම් කාර්යාලය වෙත යොමු කර ඇති මෙම ලිපිය මඟින් ඇය ඉල්ලා සිටින්නේ තම පුතු සම්බන්ධයෙන් වන ඕනෑම පරීක්ෂණයක් නීත්‍යානුකූලව සිදු කිරීමට විරෝධයක් නොමැති වුවද, රැඳවුම් නියෝග මත දිගින් දිගටම රඳවා තැබීමෙන් වළකින ලෙසයි.
"විමර්ශනය සාක්ෂි මත විය යුතුයි, රැඳවුම සාක්ෂිවලට ආදේශයක් නොවේ"
වසර 37ක් ශ්‍රී ලංකා යුද හමුදාවේ සේවය කර විශ්‍රාම ගොස් සිටින තම පුතුගේ වර්තමාන තත්ත්වය වයෝවෘද්ධ මවක් ලෙස තමන්ට දැඩි වේදනාවක් ගෙන දෙන කරුණක් බව ඇය සිය ලිපියේ සඳහන් කර ඇත.
"මම කිසිදු පරීක්ෂණයක් නතර කරන්නැයි ඉල්ලා නොසිටිමි. චෝදනා තිබේ නම් ඒවා පරීක්ෂා කරන්න. සාක්ෂි තිබේ නම් ඒවා විමර්ශනය කරන්න. සත්‍යය සොයාගන්න. නමුත් පරීක්ෂණය සිදුවන අතරතුර මගේ පුතුගේ රැඳවුම තවදුරටත් දීර්ඝ නොකරන්නැයි මම මවක් ලෙස ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි. විමර්ශනය සාක්ෂි මත සිදුවිය යුතුය. රැඳවුම සාක්ෂිවලට ආදේශයක් නොවිය යුතුය," යනුවෙන් ඇය එහි දක්වා තිබේ.
ජනාධිපතිවරයා හමුවීමට අවස්ථාවක්
තමන් කිසිදු විශේෂ වරප්‍රසාදයක් බලාපොරොත්තු නොවන බවත්, ඉල්ලා සිටින්නේ සාධාරණ අවස්ථාවක් සහ මනුෂ්‍යත්වය පමණක් බවත් පවසන ක්ලෝඩියා සලේ , තම වේදනාව සෘජුව ප්‍රකාශ කිරීම සඳහා ජනාධිපතිවරයා හමුවීමට අවස්ථාවක් ලබා දෙන ලෙසද ඉල්ලා සිටියි.
තම පුතුට නිදහසේ නීතිය හමුවේ කරුණු දැක්වීමට සහ නීතිමය ක්‍රියාමාර්ගවලට මුහුණ දීමට අවස්ථාව සලසා දෙන මෙන් ඇය ජනාධිපතිවරයාගෙන් වැඩිදුරටත් ඉල්ලීමක් කර ඇත.
මීට පෙර සුරේෂ් සලේගේ බිරිඳ විසින්ද ජනාධිපතිවරයා වෙත මෙවැනිම හදිසි ලිපියක් යොමු කරමින් පෙන්වා දී තිබුණේ සිය සැමියා දැඩි සෞඛ්‍ය ගැටලුවලින් පෙළෙන බැවින් මානුෂීය හේතූන් සහ නීතිමය සාධාරණත්වය මත පදනම්ව කටයුතු කරන ලෙසයි.

සබැඳි පුවත්:
මේජර් ජෙනරාල් සුරේෂ් සලේගේ රැඳවුම් නියෝගය තවදුරටත් දීර්ඝ කිරීමේ සූදානමක්: බිරිඳගෙන් ජනපතිට හදිසි ලිපියක් - The Leader




