රැඳවුම් නියෝග මත තවදුරටත් රඳවා නොගෙන වහාම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ඉල්ලීමක්
ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනත (PTA) යටතේ රැඳවුම් නියෝග මත රඳවා සිටින රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) හිටපු අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් සුරේෂ් සලේගේ රැඳවුම් කාලය තවත් දින 90කින් දීර්ඝ කිරීමට සූදානමක් පවතින බව පවසමින් 'ජාතික සංවිධාන එකමුතුව' ඊයේ (23) කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් සිය විරෝධය පළ කළේය.
"සලේට යුක්තිය - සංවාද මණ්ඩපය" මැයෙන් පැවති මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී නීතිඥවරුන් සහ සිවිල් සංවිධාන නියෝජිතයන් පෙන්වා දුන්නේ, ඔහුව තවදුරටත් රැඳවුම් නියෝග මත රඳවා නොගෙන වහාම අධිකරණය හමුවට ඉදිරිපත් කළ යුතු බවයි.
විමර්ශන වාර්තා සහ නීතිමය කරුණු
මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ නීතිඥ සංජීව වීරවික්‍රම සඳහන් කළේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් මෙතෙක් සිදුකර ඇති ප්‍රධාන දේශීය මෙන්ම ජාත්‍යන්තර විමර්ශන කිසිවක හෝ සුරේෂ් සලේගේ නම ඍජුව සඳහන්ව නොමැති බවයි.
ජාත්‍යන්තර විමර්ශන:
අමෙරිකා එක්සත් ජනපදයේ FBI ආයතනය, ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලීසිය (AFP) සහ බ්‍රිතාන්‍යයේ ස්කොට්ලන්ඩ් යාඩ් ආයතනය සිදුකළ තාක්ෂණික විමර්ශනවලදී ප්‍රහාරය සඳහා ISIS තාක්ෂණය සහ TATP පුපුරන ද්‍රව්‍ය යොදාගත් බව තහවුරු වී ඇති නමුත්, ඊට සලේ සම්බන්ධ බවට කිසිදු නිගමනයකට එළඹ නොමැති බව මෙහිදී ප්‍රකාශ විය.
දේශීය කමිටු හා ජනාධිපති කොමිෂන් වාර්තා:
විනිසුරු විජිත් මලල්ගොඩ කමිටු වාර්තාව, පාර්ලිමේන්තු තේරීම් කාරක සභා වාර්තාව මෙන්ම සාක්ෂිකරුවන් 457 දෙනෙකුගේ සාක්ෂි පිටු 30,000කින් සමන්විත ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාවේද ඔහුට එරෙහිව සාක්ෂි සටහන්ව නොමැති බව නීතිඥවරයා පෙන්වා දුන්නේය.
ත්‍රිපුද්ගල මහාධිකරණ නඩුව:
විත්තිකරුවන් 25 දෙනෙකුට එරෙහිව අධිචෝදනා 23,000ක් යටතේ කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණයේ විභාග වන නඩුවේ සාක්ෂි විභාගයේදී පවා ඔහු සම්බන්ධයෙන් චෝදනා එල්ල වී නොමැති බව සඳහන් කෙරිණි.
චැනල් 4 වාර්තාව සහ DNA පරීක්ෂණ ගැටලුව
බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාලිකාව විකාශය කළ වැඩසටහන සම්බන්ධයෙන් අදහස් දැක්වූ නීතිඥ සංජීව වීරවික්‍රම, අදාළ වැඩසටහන මේ වන විට ඔවුන්ගේ නිල අන්තර්ජාල ගිණුම්වලින් පවා ඉවත් කර ඇති බවත්, ජිනීවාහිදී එම නාලිකාවේ බලධාරීන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී පවා සුරේෂ් සලේ සහ අසාත් මවුලානා අතර එවැනි හමුවක් සිදුවූ බවට සනාථ කළ හැකි සාක්ෂි නොමැති බව පිළිගෙන ඇති බවත් සඳහන් කළේය.
එසේම, සාරා ජැස්මින්ගේ DNA පරීක්ෂණ සම්බන්ධයෙන් සුරේෂ් සලේ මැදිහත්වීමක් සිදුකළ බවට පළවන ප්‍රකාශ, හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදුන් ප්‍රකාශයෙන් බැහැර වන බවත්, අදාළ පරීක්ෂණ ප්‍රමාදයන් රසායනික ද්‍රව්‍ය හිඟය සහ කොවිඩ් වසංගතය වැනි ප්‍රායෝගික හේතූන් මත සිදුවූ බව හෙළිව ඇති බවත් නීතිඥවරයා වැඩිදුරටත් කියා සිටියේය.
සිවිල් සංවිධාන නියෝජිතයන්ගේ අදහස්
මාධ්‍ය හමුවට එක්වූ නීතිඥ කල්‍යානන්ද තිරාණගම සඳහන් කළේ සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීමට හෝ රඳවා තබාගැනීමට තරම් ප්‍රමාණවත් නීතිමය පදනමක් පිළිබඳ තොරතුරු ඉදිරිපත්ව නොමැති බවයි.
මෙහිදී අදහස් දැක්වූ සර්වජන බලයේ උපසභාපතිනී අනුරාධා යහම්පත්, සුරේෂ් සලේ මේ වන විට මාස හයක පමණ කාලයක් අත්අඩංගුවේ පසුවන බවත්, ඔහු දැඩි රෝගාතුර තත්ත්වයෙන් පසුවන බවත් සඳහන් කළාය. එළඹෙන 28 වැනිදා වන විට තුන්වැනි වරටත් රැඳවුම් නියෝග ලබාදීමෙන් වැළකී යුක්තිසහගතව කටයුතු කරන ලෙස ඇය රජයෙන් ඉල්ලා සිටියාය.
ජාතික සංවිධාන එකමුතුවේ වසන්ත බණ්ඩාර අවධාරණය කළේ, රඳවා සිටින හිටපු බුද්ධි ප්‍රධානියාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින් මෙම විමර්ශන නිසි නීතිමය රාමුව තුළ විනිවිදභාවයෙන් යුතුව සිදුකළ යුතු බවයි.
සබැඳි පුවත්:
සුරේෂ් සලේගේ රැඳවුම් කාලය දීර්ඝ නොකරන්න: මවගෙන් ජනපතිට සංවේදී ලිපියක්
මේජර් ජෙනරාල් සුරේෂ් සලේගේ රැඳවුම් නියෝගය තවදුරටත් දීර්ඝ කිරීමේ සූදානමක්: බිරිඳගෙන් ජනපතිට හදිසි ලිපියක් - The Leader
මේජර් ජෙනරාල් සුරේෂ් සලේගේ රැඳවුම් නියෝගය තවදුරටත් දීර්ඝ කිරීමේ සූදානමක්: බිරිඳගෙන් ජනපතිට හදිසි ලිපියක් - The Leader




