අල්ලෙයිපිඩි මුරපොළේ නිලධාරීන්ගෙන් ප්‍රශ්න කර සත්‍ය හෙළි කරන ලෙසත්, සාක්ෂිකරුවන්ට ආරක්ෂාව සලසන ලෙසත් ජාත්‍යන්තරයෙන් ඉල්ලීම්.
දශක දෙකකට ඉහතදී සිදු කළ කතෝලික පියතුමකුගේ සහ ඔහුගේ සහායකයාගේ අතුරුදහන් කිරීම අමතක කිරීමටත් සත්‍ය සෙවීම අත්හැරීමටත් එක්සත් ජාතීන්ගේ සංවිධානයත්, ජාත්‍යන්තර ප්‍රජාවත් ඉඩ නොතැබිය යුතු බව ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ මානව හිමිකම් සුරැකීම, යුක්තිය ඉටුකිරීම සහ තිරසාර සාමය උදෙසා ක්‍රියාකාරීව මැදිහත් වන ප්‍රමුඛතම ආගමික ආයතනයක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයට අවධාරණය කර තිබේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත යොමු කළ සන්දේශයක් මගින් යාපනය කතෝලික රදගුරු පදවිය අවධාරණය කර ඇත්තේ තිරුචෙල්වම් නිහාල් ජිම් බ්‍රවුන් කතෝලික පියතුමා සහ ඔහුගේ සහායක වෙන්සලාවුස් වින්සස් විමලදාස් අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් විශ්වසනීය, ස්වාධීන සහ විවෘත විමර්ශනයක් සිදු කරන ලෙසට ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටින ලෙසයි.
විසි වසරකට ඉහත දී අවසන් වරට නාවික මුරපොලක් අසලදී දක්නට ලැබුනු ඔවුන් දෙදෙනා සිහිපත් කරමින් යාපනය කතෝලික රදගුරු පදවියේ යුක්තිය හා සාමය පිළිබඳ කොමිසම පසුගියදා යාපනයේ අල්ලෙයිපිඩි මංසන්ධියේ අනුස්මරණයක් සිදු කර තිබුනි.


නිලධාරීන් හෙළිදරව් කර සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ ඉල්ලීම
බලහත්කාරයෙන් හෝ අකැමැත්තෙන් අතුරුදහන් කරවීම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරී කණ්ඩායම වෙත යොමු කළ සන්දේශය මගින් එම කොමිසම වැඩි දුරටත් ඉල්ලා සිටින්නේ ඔවුන් අතුරුදන්කරවීමට සම්බන්ධ සියලු හමුදා නිලධාරීන්, පොලිස් නිලධාරීන්, මුරපොළෙහි සිටි නිලධාරීන් සහ සෙසු නිල සටහන් ප්‍රසිද්ධියට පත් කර ඒවා ආරක්ෂා කරන ලෙසයි.
එම කාලයේදී අල්ලෛපිඩි ප්‍රදේශයේ සේවය කළ හමුදා සාමාජිකයන් සහ නිලධාරින් හඳුනාගෙන ඔවුන්ගෙන් ප්‍රශ්න කර විමර්ශන සිදු කරන ලෙසට බලධාරීන්ට අවධාරණය කරන යාපනය කතෝලික රදගුරු පදවියේ යුක්තිය හා සාමය පිළිබඳ කොමිසම තොරතුරු ලබා දෙන සාක්ෂිකරුවන්ට, පවුලේ සාමාජිකයින්ට, පූජකයින්ට සහ වෙනත් මිත්‍රයන්ට බියගැන්වීම් නැතහොත් පළිගැනීම් ඇති නොවන ආකාරයේ ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කළ යුතු බවත් සිය සංදේශය මගින් කියා සිටි.
තිරුචෙල්වම් නිහාල් ජිම් බ්‍රවුන් කතෝලික පියතුමා සහ ඔහුගේ සහායක වෙන්සෙලාවුස් වින්සස් විමලදාස් ට අත් වු ඉරණම කුමක්ද යන්න මෙන්ම ඔවුන් කොහි සිටින්නේදැයි යන සත්‍ය හෙළි කිරීමට සහාය වනවා පමණක් නොව වගකිවයුත්තන් හඳුනා ගන්නේ නම් නීතියට අනුව ඔවුන් වගකිවයුතු අය බවට ප්‍රකාශ කළ යුතු බව එම සංදේශයේ වැඩි දුරටත් සදහන්ව තිබේ.

වන්දි, යුක්තිය සහ අනාගත සහතිකය
සිය සංදේශය මගින් යාපනය කතෝලික රදගුරු පදවියේ යුක්තිය හා සාමය පිළිබඳ කොමිසම එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරී කණ්ඩායම වෙතින් ඉල්ලා ඇත්තේ වසර විස්සක් පමණ අවිනිශ්චිත තත්ත්වයෙන් සහ ශෝකයෙන් ජීවත් වන පවුලට සහ සමාජයට සුදුසු වන්දියක් සහ සහාය ලබා දෙන ලෙසට නිර්දේශ ඉදිරිපත් කළ යුතු බවයි.
"සත්‍ය, යුක්තිය, සංහිඳියාව සහ මානුෂීයත්ව ගරුත්වය යන කරුණු ඇතුළත් කරමින් අප විසින් මෙම ඉල්ලීම් ඉදිරිපත් කර තිබේ. අපි පළිගැනීම් අපේක්ෂා නොකරන්නෙමු. සිදුවූයේ කුමක් ද යන අවංක සත්‍යයත්, අතුරුදහන් වූවන්ට යුක්තියත් මෙන්ම මෙවන් සිදුවීම් අනාගතයේදී සිදු නොවනු ඇති බවට වන සහතිකයත් ඉල්ලා සිටිමු."
කතෝලික පියතුමාගේ සහ ඔහුගේ සහායකයාගේ අතුරුදහන් කරවීමට දශක දෙකක් ගත වී ඇති පසුබිමක ඔවුන්ගේ පවුලත්, යාපනය කතෝලික සභාවත්, යාපනය ජනතාවත් සත්‍යයත්, යුක්තියත්, මෙම නඩුව සඳහා එක් පැහැදිලි අවසානයක් ලබාගැනීමට අයිතියක් සහ සුදුසුකමක් සහිතවූවන් බව සිය සංදේශය මගින් යාපනය කතෝලික රදගුරු පදවියේ යුක්තිය හා සාමය පිළිබඳ කොමිසම බලහත්කාරයෙන් හෝ අකැමැත්තෙන් අතුරුදහන් කරවීම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරී කණ්ඩායමට දැනුම් දී තිබේ.





