අතුරුදහන් වූවන්ගේ ගැටලුවලට සාධාරණය ඉටුකිරීම රජයේ ප්‍රමුඛතාවක් බව අධිකරණ ඇමති පවසයි
යුද සමයේ මුලතිව් සෙන්චෝලේ පරිශ්‍රයට එල්ල වූ ප්‍රහාරයෙන් දිවි ගලවාගත් පුද්ගලයින් 18 දෙනෙකු සහ අතුරුදහන් වූවන්ගේ පවුල් 3ක් වෙනුවෙන් නිවාස ඉදිකිරීමට රුපියල් ලක්ෂ 50 බැගින් වූ මූල්‍ය ආධාර සහ අක්කර භාගයක ඉඩම් ලබාදීමේ වැඩසටහනක් රජය විසින් ආරම්භ කර තිබේ.
හදිසි ආපදා තත්ත්වයන්ට මුහුණ දුන් පවුල් සඳහා ක්‍රියාත්මක නිවාස ව්‍යාපෘතිය යටතේ මෙම පියවර ගෙන ඇති අතර, ඊට අදාළ මූලික අදියරේ චෙක්පත් ප්‍රදානය අද (25) පෙරවරුවේ කිලිනොච්චිය පරන්තන් ග්‍රාම සංවර්ධන සමිති ශාලාවේදී පැවැත්විණි. මෙම අවස්ථාව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර ගේ ප්‍රධානත්වයෙන් සිදු විය.
"බිඳුණු ගොඩනැගිලිවලට වඩා බිඳුණු සිත් සුවපත් කිරීම අසීරුයි"
එම උත්සව සභාව අමතමින් අධිකරණ අමාත්‍යවරයා අවධාරණය කළේ ජාතික සංහිඳියාව යනු හුදෙක් ප්‍රකාශවලට පමණක් සීමා නොවී ප්‍රායෝගික ක්‍රියාමාර්ග මඟින් තහවුරු විය යුතු සංකල්පයක් බවයි.
"සෙන්චෝලේ සිද්ධියට මුහුණ දුන් දරුවන් අද වන විට වැඩිහිටියන් බවට පත්ව සිටිනවා. යුද්ධයක ජයග්‍රාහකයන් නැහැ; දෙපාර්ශ්වයම පරාජයට පත් වෙනවා. යුද්ධයෙන් ඉතිරි වන්නේ කණගාටුදායක කටුක අත්දැකීම් පමණයි. යුද්ධයෙන් විනාශ වූ ගොඩනැගිලි ඉදි කිරීමට වඩා වැඩි කාලයක් ඒ හේතුවෙන් කැඩී බිඳී ගිය සිත් සුවපත් කිරීමට ගත වෙනවා. ජාතීන් අතර මිත්‍රත්වය ගොඩනැගීම වචනයට පමණක් සීමා නොවිය යුතුයි."
වත්මන් රජය කිසිදු ප්‍රදේශ හෝ ජනවාර්ගික භේදයකින් තොරව කටයුතු කරන බව පෙන්වා දුන් අමාත්‍යවරයා, අතුරුදහන් වූවන් සම්බන්ධයෙන් වන පැමිණිලි විමර්ශනය කර අදාළ පවුල්වලට අවශ්‍ය සාධාරණය ඉටු කිරීමට රජය බැඳී සිටින බවද පැවසීය.
ප්‍රායෝගික සංහිඳියාව සහ ආර්ථික ශක්තිය
2006 අගෝස්තු 14 වන දින මුලතිව් සෙන්චෝලේ ළමා නිවාස සංකීර්ණය ඉලක්ක කර එල්ල වූ ගුවන් ප්‍රහාරයෙන් පාසල් දැරියන් ඇතුළු විශාල පිරිසක් ජීවිතක්ෂයට පත්ව තවත් පිරිසක් බරපතළ තුවාල ලැබූ අතර, එම සිදුවීම ශ්‍රී ලංකා යුද ඉතිහාසයේ සංවේදීම ඛේදවාචකයක් ලෙස සටහන් වේ. වසර ගණනාවකට පසු එම පීඩාවට පත් පිරිස් සවිබල ගැන්වීම උදෙසා මෙලෙස රාජ්‍ය මට්ටමින් සහන සැලසීම උතුරේ සංහිඳියා ක්‍රියාවලියේ සුවිශේෂී පියවරක් ලෙස සැලකේ.
මෙම වැඩසටහන යටතේ නිවාස ආධාර ලබන පවුල් 21 සඳහා ජීවනෝපාය සංවර්ධනය වෙනුවෙන් එම ඉඩම්වල වගා කිරීමට අවශ්‍ය පොල් පැල බෙදාදීමද සංකේතාත්මකව සිදු කෙරිණි.
මෙම අවස්ථාවට යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. ඉලන්කුමරන්, කිලිනොච්චිය දිස්ත්‍රික් ලේකම් එස්. මුරලිදරන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රදේශවාසීහු රැසක් සහභාගි වූහ.




