BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
පුවත්

කෙහෙල්බද්දර පද්මේගේ ෆෝන් එකෙන් එළියට ආ දේශපාලන-බන්ධනාගාර රහස්: අධිකරණයෙන් දැඩි නියෝගයක්

T

The Leader Desk

August 25, 2026 • 4:39 PM

කෙහෙල්බද්දර පද්මේගේ ෆෝන් එකෙන් එළියට ආ දේශපාලන-බන්ධනාගාර රහස්: අධිකරණයෙන් දැඩි නියෝගයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මකා දැමූ දත්ත ප්‍රතිඋත්පාදනයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 20ක්, ඇමතුම් දහස් ගණනක් සහ විදේශ ගමන් බලපත්‍ර 19ක් හෙළිවෙයි.
  • මකා දැමූ දුරකථන දත්තවලින් හෙළි වූ ජාලය විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙන්වා දුන්නේ ජාත්‍යන්තර පොලිසියේ රතු නිවේදනයකට අනුව ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ සැකකරුගේ ජංගම දුරකථනවල තිබූ සියලු දත්ත මකා දමා තිබූ බවයි.
  • කෙසේ වෙතත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තාක්ෂණික අංශය මගින් එම දත්ත සාර්ථකව යථා තත්ත්වයට පත් කර ඇත.
  • එහිදී අනාවරණය වූ ප්‍රධාන කරුණු මෙසේය: දුරකථන භාවිතය: විශ්ලේෂණයට ලක් කළ ඇමතුම් 8,400කට අධික සංඛ්‍යාවක් සහ පටිගත කරන ලද දුරකථන සංවාද 1,101ක්.
අකුරු ප්‍රමාණය (Font Size):

ගණේමුල්ල සංජීව ඝාතන නඩුවේ 18 වන සැකකරු ලෙස නම් කෙරුණු පද්මේ දැඩි ආරක්ෂාව යටතේ රිමාන්ඩ් භාරයට.


ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) භාරයේ රඳවාගෙන දීර්ඝ ලෙස ප්‍රශ්න කළ සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන කෝරලගමගේ මන්දිනු පත්මසිරි පෙරේරා හෙවත් 'කෙහෙල්බද්දර පද්මේ' ලබන සැප්තැම්බර් 03 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම නියෝග කළේය.

සැකකරු සතුව තිබී අත්අඩංගුවට ගත් ජංගම දුරකථනවල මකා දමා තිබූ දත්ත ප්‍රතිඋත්පාදනය කිරීමේදී බන්ධනාගාර නිලධාරීන් 13 දෙනෙකුගේ දුරකථන අංක, දේශපාලනඥයන්, නිළියන් සහ නිරූපණ ශිල්පිනියන්ගේ තොරතුරු මෙන්ම මෙරට ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් රැසකගේ සබඳතා අනාවරණය කරගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.

මකා දැමූ දුරකථන දත්තවලින් හෙළි වූ ජාලය

විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙන්වා දුන්නේ ජාත්‍යන්තර පොලිසියේ රතු නිවේදනයකට අනුව ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ සැකකරුගේ ජංගම දුරකථනවල තිබූ සියලු දත්ත මකා දමා තිබූ බවයි. කෙසේ වෙතත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තාක්ෂණික අංශය මගින් එම දත්ත සාර්ථකව යථා තත්ත්වයට පත් කර ඇත.


එහිදී අනාවරණය වූ ප්‍රධාන කරුණු මෙසේය:

දුරකථන භාවිතය:
විශ්ලේෂණයට ලක් කළ ඇමතුම් 8,400කට අධික සංඛ්‍යාවක් සහ පටිගත කරන ලද දුරකථන සංවාද 1,101ක්.

ඡායාරූප හා වීඩියෝ:
ඡායාරූප ලක්ෂ 3කට අධික ප්‍රමාණයක් සහ වීඩියෝ දර්ශන 5,030කට වැඩි සංඛ්‍යාවක්.

ජාවාරම්කරුවන් හා ගිණුම්:
ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 20 දෙනෙකුගේ තොරතුරු හෙළිවීම සහ ඒ සම්බන්ධයෙන් වෙන වෙනම ගිණුම් 20ක් විවෘත කර මුදල් විශුද්ධිකරණ පනත යටතේ පරීක්ෂණ ක්‍රියාත්මක වීම.

විදේශ ගමන් බලපත්‍ර හා සංචාර:
 විවිධ අපරාධවලට සම්බන්ධ පුද්ගලයින්ගේ විදේශ ගමන් බලපත්‍ර 19ක ඡායාරූප සහ ව්‍යාජ වීසා බලපත්‍ර යොදාගනිමින් සැකකරු ඩුබායි, රුසියාව, ජපානය, සිංගප්පූරුව ඇතුළු රටවල් 13ක අවස්ථා 15කට වැඩි වාර ගණනක් සංචාරය කර තිබීම.

ආයතනික හා සමාජ සබඳතා:
බන්ධනාගාර නිලධාරීන් 13 දෙනෙකුගේ දුරකථන අංක, නිරූපණ ශිල්පිනියන් සහ දේශපාලනඥයන්ගේ ඡායාරූප හා සබඳතා.


ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සහ ආරක්ෂක ඉල්ලීම්

2025 පෙබරවාරි මාසයේදී අලුත්කඩේ අංක 5 මහේස්ත්‍රාත් අධිකරණයේ විත්ති කූඩුව තුළදී පාතාල කල්ලි නායකයෙකු වූ ගණේමුල්ල සංජීව නමැත්තා වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීමට අදාළව කෙහෙල්බද්දර පද්මේ 18 වන සැකකරු ලෙස නම් කර ඇති බව කොළඹ අපරාධ කොට්ඨාසය (CCD) අධිකරණයට දැනුම් දුන්නේය. එම නඩුව නැවත කැඳවන අවස්ථාවේදී සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසද ඉල්ලා සිටියේය.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ චමින්ද අතුකෝරල අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ තම සේවාදායකයාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් බරපතළ අවදානමක් පවතින බවයි. වැලිසර බන්ධනාගාරය තුළ සැකකරුගේ ප්‍රතිවාදීන් සිටින බැවින්, ඔහු එම බන්ධනාගාරයට නොයවා වෙනත් සුදුසු ආරක්ෂිත බන්ධනාගාරයක රඳවා තැබීමට නියෝගයක් ලබා දෙන ලෙස නීතිඥවරයා ඉල්ලා සිටියේය.

අධිකරණ නියෝගය

දෙපාර්ශවයේ කරුණු දැක්වීම් සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා, සැකකරුට බන්ධනාගාරය තුළ නිසි උපරිම ආරක්ෂාව තහවුරු කරන ලෙසත්, ඒ පිළිබඳ වගකීම බන්ධනාගාර අධිකාරීවරයා සතු වන බවත් අවධාරණය කළේය. එසේම, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ එල්ල වී ඇති වැරදි සම්බන්ධයෙන් සාක්ෂි සම්පිණ්ඩන වාර්තාවක් ඉදිරිපත් කිරීමට CID නිලධාරීන්ට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා සැකකරු සැප්තැම්බර් 03 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළේය.

 

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...