ශානි අබේසේකරට එරෙහි චෝදනා සහ අතරමැදි පෙත්සම් නීතිපති දෙපාර්තමේන්තුව ප්‍රතික්ෂේප කරයි
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාවට අදාළ විමර්ශනවලට අනුව අත්අඩංගුවට ගෙන සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ තවත් දින 90ක කාලයක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක නියෝග කර තිබේ.
මීට පෙර ලබාදුන් රැඳවුම් නියෝග කාලසීමාවේ ප්‍රගතිය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කැඳවූ වාර්තාවකට අනුව, එම දින 90න් දින 78ක්ම සුරේෂ් සලේ කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබා ඇති බව අනාවරණය වී ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ ඔහු නොසිටීම හේතුවෙන් විමර්ශන කටයුතු සැලසුම් සහගතව සිදු කිරීමට නොහැකි වූ බව පෙන්වා දෙමින් විමර්ශන නිලධාරීන් කළ ඉල්ලීමක් සලකා බලා මෙම නව රැඳවුම් නියෝගය නිකුත් කර තිබේ.
මේ අතර, සුරේෂ් සලේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබා ගැනීම නීතිවිරෝධී බව පවසමින් ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ඔහුගේ බිරිඳ සහ මෑණියන් ජනාධිපතිවරයා වෙත මීට පෙර ලිඛිත ඉල්ලීමක් ද ඉදිරිපත් කර තිබුණි.
අභියාචනාධිකරණය හමුවේ නීතිපති දැක්වූ ප්‍රතිචාරය
තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම අභියෝගයට ලක් කරමින් සුරේෂ් සලේ ගොනු කළ රිට් පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුහර්ෂි හේරත් කරුණු දැක්වීය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර ද්වේශසහගතව කටයුතු කරන බවට පෙත්සම්කාර පාර්ශ්වය නඟන චෝදනා ප්‍රතික්ෂේප කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය, අදාළ විමර්ශනය ආරම්භ වූයේ හිටපු අධ්‍යක්ෂ මංගල දෙහිදෙණිය ගේ කාලයේදී බවත්, විදෙස් ගමන් තහනම ලබාගත්තේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී හිමේෂා මුතුමාල ගේ කාලයේදී බවත් පෙන්වා දුන්නාය. එසේම ජනක් ද සිල්වා ජනාධිපති කොමිෂන් වාර්තාවේ කිසිදු තැනක ශානි අබේසේකර ට එරෙහිව නිර්දේශ ඉදිරිපත් කර නොමැති බවද ඇය සඳහන් කළාය.
මුරපද වෙනස් කිරීම් සහ කරුණු වසන් කිරීමේ චෝදනා
විමර්ශන කටයුතු සඳහා පෙත්සම්කරුගේ ජංගම දුරකථන සහ වට්ස්ඇප් පණිවිඩ පරීක්ෂා කිරීමට අවශ්‍ය මුරපද ඉල්ලා සිටියද, ඔහු අවස්ථා හතරකදී එකිනෙකට වෙනස් මුරපද ලබා දෙමින් සහය නොදැක්වූ බවත්, ඒ හේතුවෙන් කොටුව මහේස්ත්‍රාත්වරයාගෙන් නියෝගයක් ලබා ගැනීමට සිදු වූ බවත් නීතිපති පාර්ශ්වය අධිකරණයට දැනුම් දුන්නේය.
මීට අමතරව, මැලේසියාවේ රාජකාරි අවසන් කර මෙරටට පැමිණි පසු සිය රාජ්‍යතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රය විදේශ අමාත්‍යාංශයට භාර දුන් බවට පොලිසියට ප්‍රකාශ කර තිබියදී, එම ගමන් බලපත්‍රයේ තෝරාගත් පිටු කිහිපයක් පෙත්සම සමඟ අධිකරණයට ඉදිරිපත් කිරීම හරහා කරුණු විකෘති කිරීමක් සිදු කර ඇති බවද අධිකරණයේදී අනාවරණය විය.
අතරමැදි පෙත්සම් පිළිබඳ අධිකරණ තීන්දුව ඔක්තෝබර් 07
මෙම නඩුකරයට අදාළව පාර්ශ්ව කිහිපයක් විසින් අතරමැදි පෙත්සම් 13ක් ඉදිරිපත් කර තිබූ අතර, ඉන් බහුතරයක් ඉදිරිපත් කර තිබුණේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා විසිනි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 09 වන ව්‍යවස්ථාව උපුටා දක්වමින් මහජන ශුභසාධන නඩුකරයක් ලෙස මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණද, පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමක් මහජන ශුභසාධන කාරණයක් ලෙස සලකා රිට් බලය යටතට ගත නොහැකි බැවින් එම පෙත්සම් ප්‍රතික්ෂේප කරන ලෙස නීතිපතිවරයා ඉල්ලා සිටියේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අධිකරණය, අතරමැදි පෙත්සම් විභාගයට ගන්නේද නැද්ද යන්න පිළිබඳ නියෝගය ලබන ඔක්තෝබර් 07 වන දා ප්‍රකාශයට පත් කිරීමට නියම කළ අතර, සුරේෂ් සලේ ගේ ප්‍රධාන පෙත්සම සැප්තැම්බර් 03 වන දා යළි සලකා බැලීමට දින නියම විය.




