ඔඩිෂා ආදර්ශය ගෙන ආපදාවලට ප්‍රතිචාර දැක්වීමෙන් ඔබ්බට ගිය තිරසාර පද්ධතියක් ගොඩනැගීමේ අවශ්‍යතාව අවධාරණය කෙරේ.
ලෝකයේ සිදුවන දේශගුණික විපර්යාසයන්ගේ ඍජු ප්‍රතිඵලයක් ලෙස උද්ගත වන 'එල්නීනෝ' (El Niño) සහ 'ලානීනා' (La Niña) තත්ත්වයන් හමුවේ ඇතිවිය හැකි දැඩි නියඟය හා අධික වර්ෂාව වැනි ආන්තික කාලගුණික තත්ත්වයන්ට මුහුණ දීම සඳහා රටක් ලෙස විධිමත් පූර්ව සූදානමක් පැවතිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ තල්පේ පත්තුව ඇතුළු මාතර-හම්බන්තොට දෙදිසාවේ උපප්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම් ලැබූ අතිපූජ්‍ය සපුගස්යායේ ධර්මපාල ස්වාමීන් වහන්සේ වෙත අක්තපත්‍ර ප්‍රදානය කිරීමේ පුණ්‍යෝත්සවයට එක්වෙමිනි.
පසුගිය වසර කිහිපය තුළ පාස්කු ප්‍රහාරයේ සිට ගෝලීය දේශපාලනික හා ආර්ථික අර්බුද දක්වා ප්‍රධාන අභියෝග රැසකට රට මුහුණ දුන් බව සිහිපත් කළ විපක්ෂ නායකවරයා, ඉදිරියේදී එල්ල විය හැකි ප්‍රධානතම පාරිසරික අභියෝගය වන්නේ දේශගුණික විපර්යාස බව පෙන්වා දුන්නේය. තමා සහ මහාචාර්ය එල්.එම්. අබේවික්‍රම මහතාගේ සම සභාපතිත්වයෙන් ක්‍රියාත්මක වන දේශගුණික විපර්යාස පිළිබඳ පාර්ලිමේන්තු සංසදය හරහා ද මේ පිළිබඳව නිරන්තර අවධානය යොමු කරමින් සිටින බව හෙතෙම සඳහන් කළේය.
ආන්තික කාලගුණය සහ ගෝලීය අත්දැකීම්
ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමත් සමඟ ප්‍රංශය, ග්‍රීසිය වැනි රටවල පවා දැවැන්ත ලැව්ගිනි ඇතිවන අයුරු පෙන්වා දුන් සජිත් ප්‍රේමදාස, ශ්‍රී ලංකාව වැනි දූපත් රාජ්‍යයකට කෙටි කාල පරාසයක් තුළ දැඩි වියළි කාලගුණික තත්ත්වයන්ට මෙන්ම අනපේක්ෂිත ගංවතුර තත්ත්වයන්ට ද මුහුණ දීමට සිදුවන බව පැහැදිලි කළේය. මෙවැනි අන්ත දෙකක පවතින කාලගුණ රටාවන්ට සාර්ථකව මුහුණ දීම සඳහා ආපදාවක් සිදු වූ පසු සහන සැලසීමේ ක්‍රමවේදයෙන් ඔබ්බට ගිය පූර්ව අවදානම් අවම කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක විය යුතු බව ඔහු පෙන්වා දුන්නේය.
ඔඩිෂා ප්‍රාන්ත ආදර්ශය සහ ආයතනික වෙනස්කම්
නිතර සුළි කුණාටු හා ස්වභාවික ආපදාවලට ලක්වන ඉන්දියාවේ ඔඩිෂා ප්‍රාන්තය, නවීන තාක්ෂණය, පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති සහ ප්‍රජා සහභාගිත්වය යොදාගනිමින් ආපදා අවම කරගැනීමේ ආදර්ශමත් යාන්ත්‍රණයක් ගොඩනගා ඇති ආකාරය මෙහිදී අවධාරණය කෙරිණි.
ශ්‍රී ලංකාව ද 2004 සුනාමි ව්‍යසනයෙන් පසුව වුවද නවීන තාක්ෂණය හා බද්ධ වූ ශක්තිමත් ආපදා කළමනාකරණ ව්‍යුහයක් කරා ගමන් කිරීමට ප්‍රමාණවත් පරිදි පියවර ගෙන නොමැති බව පැවසූ විපක්ෂ නායකවරයා, රාජ්‍ය, රාජ්‍ය නොවන සංවිධාන, විද්වතුන් සහ සිවිල් ප්‍රජාව ඒකාබද්ධ කරගත් ආපදාවලට ඔරොත්තු දෙන (resilient) නව ජාතික ප්‍රතිපත්තියක් සහ ආයතනික ව්‍යුහයක් සකස් කිරීමේ වැදගත්කම පෙන්වා දුන්නේය.
සංස්කෘතික සුරක්ෂිතතාව සහ ආර්ථික ස්වෛරීභාවය
ආගමික හා සංස්කෘතික අනන්‍යතාව රැකගැනීම පිළිබඳව අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේ ජාති, ආගම්, කුල හෝ පක්ෂ භේදයකින් තොරව සම්බුද්ධ ශාසනය සුරක්ෂිත කිරීම රජයේ මූලික වගකීමක් වන බවයි. එමෙන්ම සෙසු සියලු ජාතීන්ගේ සහ ආගමික ප්‍රජාවන්ගේ අනන්‍යතාව හා අයිතිවාසිකම් ද එක හා සමානව ආරක්ෂා වන ප්‍රායෝගික පරිසරයක් රට තුළ පැවතිය යුතු බව ඔහු සඳහන් කළේය.
වත්මන් ආර්ථික තත්ත්වය හමුවේ රට මුහුණ දෙන අභියෝග පිළිබඳව ද සඳහන් කළ විපක්ෂ නායකවරයා , ජාත්‍යන්තර මූල්‍ය ආයතන හෝ බහුජාතික සංවිධාන හරහා එල්ල විය හැකි අනවශ්‍ය බලපෑම්වලින් තොරව, රටේ ස්වෛරීභාවය සහ මහජන සුබසාධනය සුරක්ෂිත කරගනිමින් කටයුතු කිරීම සඳහා සියලු පාර්ශ්වයන් එක්ව ක්‍රියාකිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන්නේය.




