හමුදාව අත්පත් කරගත් ඉඩම්වල වගා කර අස්වැන්න මුල් අයිතිකරුවන්ටම විකුණන තත්ත්වයක්; නිශ්චිත විසඳුමක් නොලැබීමෙන් වසාවිලාන් දක්වා විරෝධතා ව්‍යාප්ත වෙයි.
යුද නිමාවෙන් පසු උතුරේ ඉඩම් අක්කර දහස් ගණනක් අත්පත්කරගනිමින් මහින්ද රාජපක්ෂ පාලනය විසින් නිකුත් කරන ලද ගැසට් පත්‍රයක් මේ දක්වාම අවලංගු නොකිරීම නිසා ඉඩම් අහිමි වු ප්‍රදේශයේ දෙමළ ජනතාව සිය පාරම්පරික භුමිය ආපසු ලබා දෙන ලෙස බල කරමින් සිව් මසකට ඉහත දී ආරම්භ කළ විරෝධතා තව දුරටත් පුළුල් කර තිබේ.
ඒ ඉඩම් නිදහස් කර ගැනීම වෙනුවෙන් මෙතෙක් දියත් කරමින් සිටි විරෝධතා වලට අමතරව සෑම ඉරිදා දිනකම වසාවිලාන් ප්‍රදේශයේදී විරෝධතාවයක් ආරම්භ කරමිනි. මේ වනවිට යාපනයේ තැන් තුනක සති අන්ත විරෝධතා දියත් වේ.
පැරණි ගැසට්ටුව අලුත් ආණ්ඩුවටත් ආයුධයක්
වසාවිලාන් ප්‍රදේශයේ විරෝධතා දියත් වන භුමියට අගෝස්තු 23 වැනි ඉරිදා පැමිණි ඉලංගෙයි තමිල් අරසු කච්චි (ITAK) ජ්‍යෙෂ්ට නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී සිවඥානම් ශ්‍රී ධරන් මාධ්‍යවේදීන් හමුවේ සඳහන් කළේ රාජපක්ෂ පාලන සමයේ නිකුත් කළ ගැසට් නිවේදනය අහෝසි නොකර ජාතික ජන බලවේග ආණ්ඩුවද එම ගැසට් නිවේදනය දෙමළ ජනතාවට එරෙහි ආයුධයක් ලෙස භාවිතයට ගන්නා බවයි.
“දැන් වුණත් වර්තමානයේ ඉන්න ආණ්ඩුවට ඒ ගැසට් නිවේදනය ඉවත් කරගන්න පුළුවන්. ඒත් ඒක ආයුධයක් විදිහට අලුත් ක්‍රමයකින් දෙමළ ජනතාවට එරෙහිව ආණ්ඩුව පාවිච්චි කරනවා.”
පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ දෙමළ ජනයාට අයත් පෞද්ගලික ඉඩම් අක්කර 6000 ක් පමණ අත්පත්කරගනිමින් 2013 වසරේදී පැවති මහින්ද රාජපක්ෂ පාලනය යටතේ රජය ගැසට් පත්‍රයක් නිකුත් කර තිබියදී, එම ඉඩම් වලින් අක්කර 3000 ක පමණ ප්‍රමාණයක එදිනදා ජීවිතය ගත කිරීමට යහපාලන ආණ්ඩු සමයේ ඉඩම් වල අයිතිකරුවන්ට අවසර හිමි වූවත් එම ගැසට් පත්‍රය මේ දක්වාම අහෝසි නොකිරීම නිසා ඉඩම්වල නීත්‍යානුකූල අයිතිය තහවුරු කරගැනීමට නොහැකිව එම ජනතාව මහත් පීඩාවට පත්ව සිටින බවයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී සිවඥානම් ශ්‍රී ධරන් මාධ්‍යවේදීන් හමුවේ තව දුරටත් සදහන් කළේ දෙමළ ජනයාගේ ඉඩම් නිදහස් කරන නිශ්චිත දිනයක් සදහන් නොකරන ජනාධිපතිවරයාද දෙමළ ජනතාව රැවටීමකට ලක් කරමින් සිටින බවයි.
“ළඟදී ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්වීමේදී වුණත්, අපි ඉක්මනින් ඉඩම් නිදහස් කරන්නම් නිදහස් කරන්න යනවා කියනවා මිස මේ ඉක්මන කියන්නේ දවස් කීයක් ද? මාස කීයක් ද? කියන එක පැහැදිලිව කියන්න එයාලා ලෑස්ති නැහැ. මේ ජනතාව දිගින් දිගට රවට්ටන එක තමයි, මේ රජයත් ආණ්ඩුවත් කරන්නේ.”
තමන්ගේම ඉඩමේ අස්වැන්න සල්ලි දී ගන්නා ජනතාව
රජයේ ආරක්ෂක හමුදා විසින් අත්පත් කරගත් දෙමළ ජනතාවගේ පාරම්පරික භුමිය තුළ හමුදා විසින් කෘෂිකාර්මික කටයුතු සිදු කරන අතර එම අස්වැන්න මිලදී ගැනීමට එම ඉඩම් වල හිමිකරුවන්ටම සිදුවීම අවාසනාවන්ත තත්වයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී සිවඥානම් ශ්‍රී ධරන් මාධ්‍යවේදීන් හමුවේ වැඩි දුරටත් පෙන්වා දුන්නේය.
“මම දැන් හිටගෙන කතා කරන තැන ඉඳන් නැගෙනහිර පැත්තට වෙන්න තියෙන ඉඩම්වල කිසිම ආකාරයක හමුදා කඳවුරු නැහැ. එහෙම සම්පූර්ණයෙන්ම හමුදාව ගොවිතැන් කරනවා. ඒ පැතිවල හමුදාව ගොවිතැන් කරලා, ඒ එළවළු ටික, අනිත් බඩු මේ ජනතාවටම විකුණනවා. එහෙම නම් ඒ ජනතාව එයාලාට අයිති ඉඩම්වල නිෂ්පාදනය කරන ද්‍රව්‍ය හමුදාවෙන් සල්ලි දීලා ගන්න තරම් අවාසනාවන්ත තත්ත්වයකට වැටිලා.”
දෙමළ ජනයාගේ පාරම්පරික භුමියේ පැවැති ආගමික සිද්ධස්ථාන හා පාසල් වලට අත්ව ඇති ඉරණමත් දෙමළ ජනතා නියෝජිතයා එහිදි හෙළි කර තිබුනි.
“ඒ වගේම මෙහෙ තියෙන පාසල්වලට කෝවිල්වලට යන්න බැරි තත්ත්වයට දාලා තියෙනවා. ගොඩාක් දුප්පත් විදිහට ජීවත්වෙන මේ ජනතාවට අයිති ඉඩම් මේ රජය නිදහස් කරන්නේ නැතිව 2013දී අරන් ආපු ගැසට් පත්‍රය තියාගෙන ගොඩාක් ලොකු සන්නද්ධ ප්‍රචණ්ඩත්වයක් මේ ආණ්ඩුව කරගෙන යනවා කියන එකයි අපි ඉතා පැහැදිලිව කියන්නේ.”
සතිපතා විරෝධතා සහ ජනපතිගේ පොරොන්දු
යුද හමුදාව විසින් බලහත්කාරයෙන් අත්පත්කරගෙන සිටින දෙමළ ජනයාට අයත් යාපනය වලිකාමම් උතුරු ප්‍රදේශයේ සිය ඉඩම් නිදහස් කරන ලෙස බල කරමින් කමාන්ඩර් බංගලාව නමින් හදුන්වන උතුරු පලාතේ හමුදා ආඥාපති නිල නිවස ඉදිරිපිට 2026 අප්‍රේල් 24 වැනිදා සිට සෑම සිකුරාදා දිනකමත්, 2026 ජුනි 21 වැනිදා සිට සෑම ඉරිදා දිනකම පලාලි හන්දියේත් ඉඩම් අහිමි වුවන් විසින් සතිපතා විරෝධතා දියත් කරමින් සිටි.
ඉලංගෙයි තමිල් අරසු කච්චි මහලේකම් එම් ඒ සුමන්දිරන් අගෝස්තු 03 වැනිදා ජනාධිපති ලේකම් කාර්යාලය අසලදී අගනගරයේ මාධ්‍යවේදීන් හමුවේ පවසා තිබුනේ යුද හමුදාව ඇතුළු රජයේ ආයතන විසින් අත්පත් කරගෙන සිටින උතුරේ ජනතාවගේ පුද්ගලික ඉඩම් නිදහස් කිරීම තමන්ගේ අභිලාෂයක් බව දෙමළ පක්ෂ හයක නියෝජිතයන් හමුවේ ප්‍රකාශ කළ ජනාධිපති අනුර කුමාර දිසානායක ඒ සම්බන්ධයෙන් වාර්තාවක් ඉල්ලා ඇතැයි දැනුම් දුන් බවයි.




