අධිකරණයේ ස්වාධීනත්වය සුරැකීමට නීතිඥ සංගමයේ මැදිහත්වීමත් අවශ්‍යයි
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මුල්කරගනිමින් අග්‍රවිනිශ්චයකාරවරයා ඉලක්ක කර කිසියම් පාර්ශ්ව විසින් එල්ල කරනු ලබන අපහාසාත්මක හා අසත්‍ය ප්‍රකාශ තරයේ හෙළා දකින බව 'ජනවරමේ නීතිඥයෝ' (Lawyers for Public Mandate - LPM) සංවිධානය අවධාරණය කරයි.
පිටකෝට්ටේ සෝලීස් ශාලාවේදී පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ජනාධිපති නීතිඥ මොහාන් වීරකෝන් ඇතුළු නීතිඥවරුන් පිරිසක් පෙන්වා දුන්නේ, ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලියක් ක්‍රියාත්මක වන පසුබිමක මෙවැනි ප්‍රකාශ එල්ල වීම අධිකරණ පද්ධතියේ විශ්වාසනීයත්වයට අහිතකර ලෙස බලපාන බවයි.
මෙම මාධ්‍ය හමුව සඳහා නීතිඥ අසෝක සේරසිංහ, නීතිඥ ගාමිණී නල්ලපෙරුම, නීතිඥ උදේනි වීරතුංග, නීතිඥ ජයන්ත තිලකරත්න, නීතිඥ නිමල් රණසිංහ, නීතිඥ අනුරුද්ධ කිරලවැල්ල සහ නීතිඥ හේමක සේනානායක සහභාගී වී කරුණු දැක්වූහ.
22 වන සංශෝධනය සහ අධිකරණ ප්‍රතිසංස්කරණ
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් සමස්ත අධිකරණ පද්ධතියේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට මෙන්ම පවතින නඩු කඩිනමින් විසඳීමට ඉවහල් වන ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ රැසක් යෝජනා වී ඇති බව නීතිඥවරු මෙහිදී සිහිපත් කළහ. විශේෂයෙන්ම අභියාචනාධිකරණයේ සහ මහාධිකරණයේ විනිසුරුවරුන්ගේ සංඛ්‍යාව ඉහළ නැංවීම වැනි ප්‍රගතිශීලී පියවර ඒ අතර ප්‍රමුඛ වන බව ඔවුහු පෙන්වා දුන්හ.
නීති ක්ෂේත්‍රයේ යහපත උදෙසා මෙවැනි පුළුල් ප්‍රතිසංස්කරණ සාකච්ඡාවට බඳුන් වන අවස්ථාවක, ඇතැම් පාර්ශ්ව විසින් වගකීම් විරහිත ලෙස අධිකරණයේ ඉහළම තනතුර ඉලක්ක කර චෝදනා එල්ල කිරීම සාධාරණීකරණය කළ නොහැකි බව මෙහිදී ප්‍රකාශ විය.
වරප්‍රසාද සහ ප්‍රජාතන්ත්‍රවාදී සීමා
පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී ඇතැම් මහජන නියෝජිතයන් අග්‍රවිනිශ්චයකාරවරයාට එරෙහිව පදනම් විරහිත චෝදනා ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු විය යුතු බව 'ජනවරමේ නීතිඥයෝ' සංවිධානය අවධාරණය කරයි.
ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායන් සහ පොදුරාජ්‍ය මණ්ඩලීය මාර්ගෝපදේශ (Latimer House Principles) වලට අනුව, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය අතර අන්‍යෝන්‍ය ගෞරවය සහ බලතල බෙදීමේ මූලධර්මය ආරක්ෂා විය යුතුය. පාර්ලිමේන්තු වරප්‍රසාද යනු මහජන සේවය උදෙසා හිමිවන ආරක්ෂාවක් මිස අධිකරණයේ ගෞරවය කෙලෙසීමට යොදාගත හැකි මෙවලමක් නොවන බව නීති විශාරදයෝ පෙන්වා දෙති.
එබැවින් වරප්‍රසාද අයුතු ලෙස භාවිත කරමින් මෙවැනි ප්‍රකාශ සිදුකිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව සහ කථානායකවරයා අවශ්‍ය නීතිමය හා විනය ක්‍රියාමාර්ග ගත යුතු බවට එම නීතිඥ සංවිධානය යෝජනා කරයි.
වෘත්තීය මැදිහත්වීමේ අවශ්‍යතාව
අධිකරණයේ ස්වාධීනත්වය සහ විනිසුරුවරුන්ගේ ගරුත්වය සුරැකීම වෙනුවෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) මීට වඩා ක්‍රියාකාරී හා වගකීම් සහගත ස්ථාවරයක සිට කටයුතු කළ යුතු බවද මාධ්‍ය හමුවේදී සාකච්ඡාවට ලක්විය.
විවේචනයට සහ අදහස් ප්‍රකාශ කිරීමට ඇති ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය පිළිගන්නා අතරම, නීතියේ ආධිපත්‍යයේ පැවැත්ම වෙනුවෙන් අධිකරණ පද්ධතිය අසත්‍ය ප්‍රචාරවලින් ආරක්ෂා කරගැනීම සමස්ත නීති ප්‍රජාවගේම මූලික වගකීමක් බව 'ජනවරමේ නීතිඥයෝ' සංවිධානය අවසන් වශයෙන් පෙන්වා දුන්නේය.




