දේශපාලන බෙදීම් අභිබවා ගිය අන්තිම කැමැත්ත: රතු තරුවලින් සමුගත් සොමාවතී මිලිනා පීරිස් (බීටා)
1970 දශකයේ සිට මෙරට වාමාංශික දේශපාලන ඉතිහාසයේ, විශේෂයෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ (JVP) භූගත හා අසීරු කාලපරිච්ඡේදවලදී සුවිශේෂී කාර්යභාරයක් ඉටුකළ ප්‍රමුඛ පෙළේ ක්‍රියාකාරිනියක වූ සෝමාවතී මිලිනා පීරිස් හෙවත් 'බීටා' මහත්මිය අභාවප්‍රාප්ත වූවාය. මියයන විට ඇය 90 වන වියෙහි පසුවූවාය.
ජනතා විමුක්ති පෙරමුණේ ආරම්භක නායක රෝහණ විජේවීර, උපතිස්ස ගමනායක, ලයනල් බෝපගේ ඇතුළු මුල් පෙළ නායකයින් අතර ඇය වඩාත් ප්‍රකටව සිටියේ 'උඩගෙදර අක්කා' යන ගෞරවණීය නාමයෙනි.
තහනම් යුගයේ ජීවිත අවදානම නොතකා කළ රැකවරණය
1971 කැරැල්ලෙන් පසු සහ විශේෂයෙන්ම 1983 වසරේදී ජනතා විමුක්ති පෙරමුණ තහනමට ලක්වූ අවධියේ පක්ෂ නායකයින් රාජ්‍ය ආරක්ෂක අංශවලින් සැඟවී කටයුතු කරද්දී, ඔවුන්ගේ දරු පවුල් සහ ඥාතීන් හිතවතුන් ආරක්ෂිතව රැකබලා ගැනීමේ භාරදූර සහ අතිශය අවදානම් සහගත වගකීම ඇය විසින් භාරගෙන තිබිණි. සිය ජීවිතය හා පවුලේ සාමාජිකයන්ගේ ජීවිත පවා පරදුවට තබමින්, පක්ෂයේ රහසිගත ක්‍රියාකාරකම් වෙනුවෙන් ඇය ලබාදුන් සහයෝගය ජවිපෙ අභ්‍යන්තර ඉතිහාසයේ නොමැකෙන සටහනක් ලෙස සැලකේ.
ඇය මෙන්ම ඇයගේ සැමියාද ව්‍යාපාරයේ සමීපතම හිතවතෙකු වූ අතර, ඔවුන්ගේ දරුවන් තිදෙනෙකු පක්ෂයේ පූර්ණකාලීන සාමාජිකයින් ලෙස දේශපාලනයට එක්ව සිටියහ. ඉන් එක් පුත්‍රයෙකු 1988–1989 භීෂණකාරී යුගයේදී ජීවිතක්ෂයට (ඝාතනයට) ලක් විය.
කරුණා ගමනායකගේ සංවේදී සටහන
ඇයගේ වියෝව පිළිබඳව උපතිස්ස ගමනායකගේ බිරිඳ වන කරුණා ගමනායක සිය දියණියගේ මුහුණු පොතේ සංවේදී සටහනක් පළකරමින් මෙසේ ලියා තිබුණි.
"ආදරනීය බීටක්කෙ, ඔබ දෑස් පියා ගත්තේ ඔබ පැතු ලොව තනන සරු පස, මේ මහා පොලොව මත සරු බිජ වපුරා පළ දරන්නට පොර බඳිනවා දකිමිනි. ඉතින් ආදරණිය බීටා අක්කේ ඔබට සුභ ගමන් !!"
පරම්පරා තුනක වාමාංශික බැඳීම සහ දේශපාලන බෙදීම් මැද ලියැවුණු අවසන් කැමැත්ත
සෝමාවතී මිලිනා පීරිස් මහත්මියගේ දරුවන් පමණක් නොව, ඔවුන්ගේ දරු පරම්පරාව (මුනුපුරු-මිනිබිරියන්) ද වර්තමානයේ ජනතා විමුක්ති පෙරමුණ මෙන්ම ඉන් බිඳී ගිය පෙරටුගාමී සමාජවාදී පක්ෂය (FSP) යන පක්ෂ දෙකෙහිම මෙන්ම ලිබරල් දේශපාලනයේ ද සක්‍රීය දේශපාලන ක්‍රියාකාරීන් ලෙස කටයුතු කරමින් සිටීම විශේෂත්වයකි.
තමන් මියයාමට මසකට පෙර ඇය විසින් ලියා තිබූ විශේෂ අන්තිම කැමති පත්‍රයේ සඳහන් කර තිබුණේ, තම දේහය පිළිබඳ අවසන් කටයුතුවලට සහභාගී වීමට ජනතා විමුක්ති පෙරමුණේ හෝ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ කිසිදු සාමාජිකයෙකුට කිසිදු පාර්ශ්වයකින් බාධාවක් හෝ අවහිරයක් සිදු නොවිය යුතු බවයි. වර්තමාන දේශපාලන බෙදීම් සහ මතභේද පසෙකලා දෙපාර්ශ්වයටම සහෝදරත්වයෙන් යුතුව තම අවමංගල්‍යයට එක්වීමට ඉඩ සැලසිය යුතු බව ඇය එහි අවධාරණය කර තිබිණි.
පක්ෂ භේදයකින් තොරව අවසන් ගෞරව
එම අවසන් කැමැත්තට ගරු කරමින්, අද පස්වරුවේ පැවති ඇයගේ අවමංගල්‍ය උත්සවයට ජනතා විමුක්ති පෙරමුණේ මෙන්ම පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන පෙළේ ක්‍රියාකාරීන්, හිතමිතුරන් සහ ඥාතීන් විශාල පිරිසක් එක්ව සිය අවසන් ගෞරවය පුද කර සිටියහ. ජනතා විමුක්ති පෙරමුණේ හිටපු ලේකම්වරයකු වූ ආචාර්ය ලයනල් බෝපගේද ‘උඩගෙදර අක්කා’ අවසන් ගෞරව දැක්වීමට එක්ව සිටියේය.
(සටහන: ඇයගේ අත්අකුරින් ලියැවුණු අවසන් කැමති පත්‍රය මතු පළවේ)






