යුරෝපය සහ ඩුබායි පුරා විහිදුණු බාසික්ගේ කෝටි ගණනක වත්කම් ගැන පොලිස් විමර්ශන තවදුරටත් පුළුල් වෙයි.
මෑතකදී අත්අඩංගුවට ගත් මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස සැලකෙන ශිරාන් බාසික් නැමැත්තා සමඟ තමන්ව සම්බන්ධ කරමින් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ අසත්‍ය හා අපහාසාත්මක ප්‍රචාර ගෙන යන බවට චෝදනා කරමින් හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න දිල්ෂාන් නාරාහේන්පිට පිහිටි මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත නිල පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
අදාළ පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ක්‍රිකට් නායකයා සඳහන් කර සිටියේ, ඇතැම් සමාජ මාධ්‍ය පිටු සහ පුද්ගලයන් පිරිසක් හුදෙක් පරිශීලක ආකර්ෂණය (Views) ලබා ගැනීමේ අරමුණින් තමන්ගේ කීර්තිනාමයට දැඩි හානියක් සිදු කරමින් සිටින බවයි.
"රට වෙනුවෙන් කැපවුණු මට කළ අසාධාරණයක්" - දිල්ෂාන්ගෙන් දැඩි ප්‍රකාශයක්
තමන් කිසිදු අයුතු මූල්‍ය ගනුදෙනුවකට හෝ නීතිවිරෝධී ක්‍රියාවකට සම්බන්ධ නොමැති බව අවධාරණය කළ තිලකරත්න දිල්ෂාන්, සිද්ධිය පිළිබඳව මෙසේ අදහස් පළ කළේය.
"මගේ කීර්ති නාමයට හානිවන ආකාරයෙන් කීර්ති රත්නායක නැමැති පුද්ගලයෙක් සහ රාජාංගනයේ හිමි කියාගන්නා ස්වාමීන් වහන්සේ නමක් ඇතුළු කිහිප දෙනෙකු විසින් මගේ රුව යොදාගෙන සමාජ මාධ්‍ය හරහා දැඩි ලෙස අපහාස සිදු කරමින් සිටිනවා. රට වෙනුවෙන් වසර විස්සක් ක්‍රීඩා කරලා, ඇඟිලි දහයම කඩාගෙන, රටට ගෞරවයක් අත්කර දුන් මට මේ ආකාරයෙන් අපහාස විඳින්න බැහැ. මගේ දියණිය මේ වන විට අවුරුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරනවා. මෙවැනි අසත්‍ය ප්‍රචාර නිසා මගේ දරුවන්ට මානසිකව දැඩි බලපෑමක් එල්ල වෙනවා."
තවදුරටත් අදහස් දැක්වූ ඔහු , මෙම සිදුවීම සමාජගත වන අවස්ථාවේදී තමන් දිවයිනේ නොසිටි බවත්, ලංකාවට පැමිණි වහාම මිතුරන් මාර්ගයෙන් තොරතුරු දැනගෙන මෙලෙස නීතිමය පියවර ගැනීමට කටයුතු කළ බවත් පැහැදිලි කළේය.
"මම සීයට සීයක් නිර්දෝෂී පුද්ගලයෙක්. ඒ නිසා තමයි අද දින මෙම පැමිණිල්ල මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත ඉදිරිපත් කළේ. මගේ නමට සිදු කළ දැවැන්ත හානිය සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට මගේ නීතිඥයන් සමඟ මේ වන විටත් සාකච්ඡා කරමින් පවතිනවා. ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ නම් ගම් විකුණමින් 'ක්‍රිකට් ක්‍රීඩාවට කළු පැල්ලමක්' වැනි සිරස්තල යොදාගෙන සමාජ මාධ්‍ය හරහා සිදු කරන මේ විනාශකාරී රැල්ල නතර විය යුතුයි."
ශිරාන් බාසික්ගේ ජාත්‍යන්තර වත්කම් ජාලය හෙළිවෙයි
මේ අතර, ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ඒමෙන් අනතුරුව රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරනු ලබන ශිරාන් බාසික් සතු දේශීය හා ජාත්‍යන්තර වත්කම් සම්බන්ධයෙන් පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.
පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ අනාවරණය වී ඇත්තේ සැකකරු සතුව ස්විට්සර්ලන්තය, ඉතාලිය සහ ප්‍රංශය යන යුරෝපා රටවල හෝටල් සංකීර්ණ, සුඛෝපභෝගී වාහන සහ විවිධ ව්‍යාපාරික දේපළ රැසක් පවතින බවයි. සැකකරු කලින් කලට එම රටවල සංචාරය කරමින් අදාළ ව්‍යාපාර කටයුතු මෙහෙයවා ඇති බවද විමර්ශනවලදී තහවුරු වී තිබේ.
මීට අමතරව ඩුබායි රාජ්‍යයේදී ඔහු පරිහරණය කළ රුපියල් කෝටි එකහමාරකට අධික වටිනාකමකින් යුත් සුඛෝපභෝගී ජීප් රථයක් පිළිබඳවද තොරතුරු හෙළිව ඇත. මෙරට තුළද කොළඹ මුහුදු මාවත ආශ්‍රිත හෝටල් කිහිපයක් සහ බොරලැස්ගමුව ප්‍රදේශයේ පිහිටි ජංගම දුරකථන අලෙවිසැල් ඇතුළු දේපළ රැසක් මොහු විසින් උපයාගෙන ඇති බවට පොලිසිය විසින් නීතිමය කරුණු අනාවරණය කරගෙන තිබේ.
අදාළ ජාවාරම්කරුගේ මුදල් විශුද්ධිකරණ ජාලය හා ඊට සම්බන්ධ පාර්ශ්ව පිළිබඳව ආරක්ෂක අංශ විමර්ශන තවදුරටත් සිදු කරන පසුබිමක, ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ නම් ඒ හා ඈඳමින් සමාජ මාධ්‍ය ඔස්සේ සිදුවන ප්‍රචාරයන් වැළැක්වීම සඳහා බලධාරීන්ගේ අවධානය යොමුවිය යුතු බව නීති විශාරදයෝ පෙන්වා දෙති.




