වතු සමාගම් ගිවිසුම් ප්‍රතිශෝධනය සහ ඉන්දියාවේ වෙසෙන මෙරට වැසියන් ගෙන්වා ගැනීමට කැබිනට් අනුමැතිය
2023 වසරේදී සිදුවූ නායයෑම හේතුවෙන් නිවාස අහිමිව වසර තුනහමාරකට ආසන්න කාලයක් තාවකාලික සහ අනාරක්ෂිත ස්ථානවල ජීවත් වූ පූනාගල, කබරගල ප්‍රදේශයේ පවුල් 50ක් වෙනුවෙන් ඉදිකළ "නවෝදයාගම" නිවාස ව්‍යාපෘතිය අද (28) පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරිණි.
රජයේ "පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්" ප්‍රතිපත්ති රාමුවට අනුකූලව ක්‍රියාත්මක වූ මෙම ව්‍යාපෘතිය යටතේ එක් පවුලක් වෙනුවෙන් පර්චස් 10ක ඉඩමක් සහ වර්ග අඩි 550කින් යුත් අංගසම්පූර්ණ නිවසක් හිමි වේ. නිදන කාමර දෙකක්, සාලයක්, මුළුතැන්ගෙයක් සහ නාන කාමරයකින් සමන්විත එක් නිවසක් වෙනුවෙන් රුපියල් ලක්ෂ 32කට ආසන්න මුදලක් වැයකර ඇති අතර, පදිංචි වන සෑම පවුලක් සඳහාම රුපියල් 175,000ක අත්‍යාවශ්‍ය ගෘහ භාණ්ඩ හා මුළුතැන්ගෙයි උපකරණ කට්ටලයක් ද ලබා දී ඇත.
ශ්‍රී ලංකා යුද හමුදා ඉංජිනේරු බලකායේ ශ්‍රම දායකත්වයෙන් ඉදිකිරීම් නිම කරන ලද මෙම ව්‍යාපෘතියේ නිවාස යතුරු සහ හිමිකම් ඔප්පු සංකේතාත්මකව ප්‍රතිලාභීන් 10 දෙනෙකු වෙත ජනාධිපතිවරයා අතින් මෙහිදී ප්‍රදානය කෙරිණි. මීට අමතරව, ඉන්දීය ආධාර යටතේ ක්‍රියාත්මක නිවාස 4,000 වැඩසටහන යටතේ හල්දුම්මුල්ල, බණ්ඩාරවෙල සහ හපුතලේ ප්‍රදේශවල ඉදිකළ නිවාසවල ප්‍රතිලාභීන් 163 දෙනෙකු වෙතද සින්නක්කර ඔප්පු පිරිනැමීම මෙහිදී සිදුවිය.
මධ්‍යම කඳුකරයට නව ආරක්ෂණ අධිකාරියක්
මෙම උත්සව සභාව අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේ දිවයිනේ පාරිසරික සහ ආර්ථික හදවත බඳු මධ්‍යම කඳුකරය ආරක්ෂා කර ගැනීම උදෙසා නව ව්‍යවස්ථාපිත රාමුවක් සකස් කරමින් පවතින බවයි.
"අපේ රටේ භූමියෙන් 13%ක් නියෝජනය කරන, වාර්ෂික වර්ෂාපතනයෙන් 72%ක් පමණ ලැබෙන මධ්‍යම කඳුකරයෙන් ගංගා සහ ඔයවල් 103ක් ආරම්භ වෙනවා. පසුගිය කාලසීමාව තුළ ප්‍රධාන නායයෑම් 1,200කට අධික සංඛ්‍යාවක් වාර්තා වුණා. මේ තත්ත්වය පාලනය කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ සහාය ඇතිව 'මධ්‍යම කඳුකර ආරක්ෂණ අධිකාරිය' පිහිටුවීමට අදාළ පනත මේ වසර අවසානයේ හෝ ලබන වසර මුලදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා."
පරිසර සංරක්ෂණ, වන සංරක්ෂණ, වනජීවි, වාරිමාර්ග, කෘෂිකර්ම ඇතුළු සියලු ක්ෂේත්‍ර ඒකාබද්ධ කරමින් මෙම අධිකාරිය පිහිටුවන බවත්, අවිධිමත් සංවර්ධන ව්‍යාපෘති හේතුවෙන් සිදුවන පාරිසරික හායනය වැළැක්වීම මෙහි මූලික අරමුණ බවත් හෙතෙම පෙන්වා දුන්නේය.
වතු සමාගම් ගිවිසුම් සහ මලෛයගම් ප්‍රජාවේ අයිතිවාසිකම්
මලෛයගම් ප්‍රජාව වසර 200කට වැඩි කාලයක් මෙරට ආර්ථිකයට සුවිශාල දායකත්වයක් ලබා දුන් පිරිසක් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, ඔවුන්ගේ ඉඩම් සහ ජීවන තත්ත්වය නඟාසිටුවීම රජයේ ප්‍රමුඛ කාර්යයක් බව අවධාරණය කළේය.
වතු සමාගම් සමඟ පවතින දීර්ඝකාලීන බදු ගිවිසුම් 2042 දී අවසන් වීමට නියමිත වුවද, එම ගිවිසුම් සමාලෝචනය කිරීම සඳහා අමාත්‍යාංශ මට්ටමින් කමිටුවක් පත් කර ඇති බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය. ඉදිරියේදී වතු සමාගම් සමඟ ඇති කරගන්නා නව ගිවිසුම්වලට වතු කම්කරු ජනතාවගේ ඉඩම් සහ සමාජ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමේ කොන්දේසි ඇතුළත් කරන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
මීට අමතරව, පසුගිය යුද ගැටුම් සමයේදී රට හැර ගොස් දැනට ඉන්දියාවේ රැඳී සිටින මෙරට වැසියන්ට යළි මව්බිමට පැමිණීමට පැවති පරිපාලන සහ නීතිමය බාධා ඉවත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බවත්, ඒ සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තුව හරහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවත් මෙහිදී අනාවරණය කෙරිණි.
නිවාස සංවර්ධන ඉලක්ක සහ අමාත්‍යාංශ සැලසුම්
උත්සවය ඇමතූ වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න සඳහන් කළේ, පසුගිය දස වසරක කාලය තුළ බදුල්ල දිස්ත්‍රික්කයේ ආපදාවට පත් ජනතාව වෙනුවෙන් ඉදිකර තිබුණේ නිවාස 734ක් පමණක් බවයි. කෙසේ වෙතත්, වත්මන් රජය යටතේ මේ වන විට බදුල්ල දිස්ත්‍රික්කයේ පමණක් නිවාස 4,000කට වැඩි ප්‍රමාණයක වැඩ ආරම්භ කර ඇති බවත්, ඉන්දීය ආධාර යටතේ නිවාස 10,000ක් ඉදිකිරීමේ වැඩපිළිවෙළද කඩිනම් කර ඇති බවත් ඔහු පැවසීය.
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප් අදහස් දක්වමින්, කඳුකර ජනතාව වෙනුවෙන් වූ ඓතිහාසික හැටන් ප්‍රකාශනයේ අඩංගු ප්‍රතිපත්තිමය කරුණු මේ වන විට ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙමින් පවතින බව සඳහන් කළේය.
මෙම අවස්ථාවට අමාත්‍යවරුන් වන සුසිල් රණසිංහ, සරෝජා සාවිත්‍රි පෝල්රාජ්, රාමලිංගම් චන්ද්‍රසේකර්, නියෝජ්‍ය අමාත්‍යවරුන්, ඌව පළාත් ආණ්ඩුකාර නීතිඥ ජේ. එම්. කපිල ජයසේකර, වැඩබලන ඉන්දීය මහ කොමසාරිස් මෛත්‍රේයි කුල්කර්නි (Maitrey Kulkarni) ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් රැසක් එක්ව සිටියහ.





