*විසිරී පවතින ආයතන එක් පරිශ්‍රයකට ගෙන ඒමේ ප්‍රතිපත්තිමය සැලසුමක් කරළියට
රාජ්‍ය සේවකයින් සාම්ප්‍රදායික නිලධාරීවාදී මානසිකත්වයෙන් කඩිනමින් බැහැර විය යුතු බවත්, කාර්යාල අවකාශය යනු තනතුරේ නිල බලය හෝ තමන්ගේ ප්‍රතිරූපය (Ego) ප්‍රදර්ශනය කරන ස්ථානයක් නොවිය යුතු බවත් ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක අවධාරණය කරයි.
පැරණි බිත්තිවලින් ආවරණය වූ හිරගෙවල් වැනි අඳුරු කාර්යාල සංස්කෘතියෙන් රාජ්‍ය අංශය කඩිනමින් එළියට පැමිණිය යුතු බව පෙන්වා දෙන අමාත්‍යවරයා, ඉදිරියේදී රාජ්‍ය ආයතන කණ්ඩායම් හැඟීමෙන් යුතුව කාර්යක්ෂමව කටයුතු කළ හැකි විවෘත කාර්යාල (Workstation) ආකෘතියක් දක්වා පරිවර්තනය කිරීමේ අවශ්‍යතාව ද පෙන්වා දෙයි.
"ටෙනිස් පිටි වගේ කාමර හදන එක තහනම් කළ යුතුයි"
රාජ්‍ය සේවයේ පවතින අනවශ්‍ය වියදම් සහ සම්පත් නාස්තිය පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ තමන් දැනට භාවිත කරන අමාත්‍යාංශ කාර්යාලය පවා අනවශ්‍ය තරම් විශාල ඉඩකඩකින් සමන්විත වන බවයි.
"අපි මේ අර පරණ බිත්තිවලින් වටකරගත්තු, කුඩූ කරගත්තු, ඒ අඳුරු අර හිරගෙවල් වගේ කාර්යාල ක්‍රමයෙන් එළියට එන්න ඕන. දැන් අපේ මහාමාර්ග අමාත්‍යාංශයේ මං ඉන්න ඔෆිස් එක ගත්තොත් ටෙනිස් කෝට් එකක් විතර ලොකුයි. ඒ වගේ ඒවා හදන එක තහනම් කරන්න ඕන. ඔෆිස් ස්පේස් කියන්නේ තමන්ගේ මේ ඊගෝ එක පෙන්නන, තමන්ගේ තනතුර පෙන්නන එකක් නෙමෙයි. ඇත්තටම අපිට සුදුසුකම් තියෙනවා නම් අපිට චූටි ඔෆිස් එකක් ඇති. අපිට ඔෆිස් එකෙන් පර්සනලිටි එක හදාගන්න අපි කාටවත් අවශ්‍ය නැහැ..."
කාර්යාල කාමර අලංකරණය වෙනුවෙන් පමණක් අධික පිරිවැයක් දැරූ ගෘහ භාණ්ඩ භාවිත කිරීමේ සම්ප්‍රදාය ද ඔහු දැඩි ලෙස ප්‍රතික්ෂේප කළේය.
"...අපේ කාමරයේ තියෙනවා පුටු පහක් විතර. එක පුටුවකින් ගෙයක් හදන්න පුළුවන් සාමාන්‍ය මිනිහෙක්ට. ඒ නිසා අපිට එහෙම මානසික රෝගයක් නැහැ. අපිට පුටුවලින්, ඔෆිස් ස්පේස් එකෙන්, ඒ ග්ලෝරිෆිකේෂන් එකෙන් කරගන්න දෙයක් නැහැ. අනිවාර්යයෙන්ම නැවත වර්ක් ස්ටේෂන් මොඩල් එකට, පහසුවෙන් ටීම් එකක් ලෙස වැඩ කරගන්න පුළුවන් වෙන විදිහට මේක බලන්නම ඕනකම තියනවා."
විසිරුණු ආයතන එකම වහලක් යටට
එක් අමාත්‍යාංශයකට අයත් ආයතන, දෙපාර්තමේන්තු සහ අංශ විවිධ ස්ථානවල විසිරී පැවතීම හේතුවෙන් පරිපාලන කටයුතු මෙන්ම මහජන සේවාවන් ද දැඩි ලෙස අඩාල වී ඇති බව මෙහිදී අනාවරණය විය.
"දැන් අපි තීන්දුවක් ගත්තා රාජ්‍ය ආයතන එක තැනකට යා යුතුයි කියලා. දැන් අපේ අමාත්‍යාංශය ගත්තොත් රම්‍ය, සුරම්‍ය, සුබ වගේ තැන් තැන්වල තියෙන්නේ. මං හිතන්නේ මං ඇත්තටම තාම හරියටම දන්නෙත් නැහැ ඔය කොහෙ කොහෙ තැන්වලද ඔක්කොම තියෙන්නේ කියලා."
ඒ අනුව, රාජ්‍ය යාන්ත්‍රණයේ පිරිවැය කළමනාකරණය කරමින්, පරිපාලන කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා විසිරී ඇති අදාළ ආයතන සියල්ල එක් පරිශ්‍රයකට කේන්ද්‍රගත කිරීමේ ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග ඉදිරියේදී ගන්නා බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.
නවීන රාජ්‍ය සේවා ආකෘතියක අවශ්‍යතාව
ලෝකයේ බොහෝ දියුණු සහ සංවර්ධනය වෙමින් පවතින රටවල් මේ වන විටත් සාම්ප්‍රදායික සංවෘත කාර්යාල කාමර ක්‍රමයෙන් මිදී විවෘත කාර්යාල අවකාශයන් (Open Plan & Collaborative Workstations) වෙත යොමුව තිබේ. එමගින් නිලධාරීන් අතර සන්නිවේදනය වේගවත් වන අතර, කාර්යාල නඩත්තු පිරිවැය, විදුලි පරිභෝජනය සහ අනවශ්‍ය ගොඩනැගිලි කුලී වියදම් සැලකිය යුතු මට්ටමකින් අවම කර ගැනීමට හැකියාව ලැබේ.
ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික හා පරිපාලන අභියෝග හමුවේ රාජ්‍ය අංශයේ සම්පත් උපරිම ඵලදායිතාවකින් භාවිත කිරීම සහ ධූරාවලි බාධක අවම කරමින් ජනතා කේන්ද්‍රීය සේවාවක් සැලසීම සඳහා මෙවැනි අවකාශ ප්‍රතිසංස්කරණ මූලික පියවරක් වනු ඇතැයි පාලන හා කළමනාකරණ ක්ෂේත්‍රයේ විශ්ලේෂකයෝ පෙන්වා දෙති.




