*නීතිවිරෝධී ගිනි අවියක් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුගෙන් දින 90ක රැඳවුම් නියෝග මත දීර්ඝ ප්‍රශ්න කිරීම්
අට වසරකට පෙර විශ්‍රාමික යුද හමුදා බලලත් නිලධාරියෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීම සහ එම අපරාධයේ තොරතුරු දැනසිටි තරුණියක ඉන්දියාවට රැගෙන ගොස් අතුරුදන් කරවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
නීතිවිරෝධී ගිනි අවි සන්තකයේ තබාගැනීම සහ සංවිධානාත්මක අපරාධ ක්‍රියාකාරකම්වලට සම්බන්ධ බවට එල්ල වූ චෝදනා මත අත්අඩංගුවට ගත් කළු පටි කරාතේ පුහුණුකරුවෙකුගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලදී මෙම තොරතුරු අනාවරණය වී ඇත. කුරුවිට, මිල්ලවැටිය ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි බී. සුමිත් ප්‍රියන්ත නමැති මෙම සැකකරු මේ වන විට දින 90ක රැඳවුම් නියෝග මත රඳවාගෙන විමර්ශන නිලධාරීන් විසින් ප්‍රශ්න කරනු ලබයි.
පෑනක හැඩයේ ගිනි අවිය සහ අත්අඩංගුවට ගැනීම
වාහන කොල්ලකෑම්, කප්පම් ගැනීම් සහ මනුෂ්‍ය ඝාතන ඇතුළු අපරාධ රැසකට සැකපිට පොලිස් සෝදිසියට ලක්ව සිටි මොහු, ඉකුත් ජූනි 08 වන දින පෑනක හැඩයෙන් යුත් විදේශීය නිෂ්පාදිත අතිනවීන ගිනි අවියක් සහ ජීව උණ්ඩ තොගයක් සමඟ අත්අඩංගුවට ගෙන තිබිණි. පොලිස්පතිවරයා වෙත ලැබුණු විශේෂ තොරතුරකට අනුව මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් නිට්ටඹුව, රන්පොකුණගම ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
දීර්ඝ කාලයක් තිස්සේ සංවිධානාත්මක අපරාධකරුවන් සහ මත්ද්‍රව්‍ය ජාල සමඟ පවත්වාගෙන ගිය සබඳතා පිළිබඳව සිදුකළ විමර්ශනවලදී, වසර ගණනාවක් තිස්සේ යටපත්ව තිබූ මෙම ද්විත්ව අපරාධයේ තොරතුරු එකින් එක එළියට පැමිණ තිබේ.
පොලිස් වෙස් ගෙන කළ පැහැරගැනීම සහ සිරුර ගඟට දැමීම

විමර්ශනවලදී අනාවරණය වී ඇති පරිදි, 2018 සැප්තැම්බර් 09 වන දින කිරිඳිවෙල, නාරංගස්පිටිය ප්‍රදේශයේදී අමරසිරි නිශ්ශංක (47) නමැති විශ්‍රාමික හමුදා බලලත් නිලධාරියා පැහැරගෙන ගොස් ඝාතනය කර ඇත. වල්ලපට්ටා ව්‍යාපාරික ආරවුලක්, දේපළ අත්පත් කරගැනීමේ අරමුණ සහ ඝාතනයට ලක්වූ අයගේ බිරිඳ සමඟ පැවති බව කියන අනියම් සබඳතාවක් මෙම ඝාතනයට හේතු වී ඇති බවට තොරතුරු වාර්තා වේ.
පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් කිරිඳිවෙල පිහිටි නිලධාරියාගේ නවාතැනට කඩා වැදී ගෙලට පහරදී ඝාතනය සිදුකර ඇති බවත්, පසුව මළසිරුර මෝටර් රථයකින් කුරුවිට මිල්ලවිටිය ප්‍රදේශයේ අක්කර 11ක රබර් වත්තක වළදමා ඇති බවත් සැකකරු ප්‍රකාශ කර තිබේ. කෙසේ වෙතත්, සති තුනකට පමණ පසු නීතියේ රැහැනට හසුවනු ඇතැයි බියෙන් සිරුර යළි ගොඩගෙන, පොහොර උරයක බහා යතුරුපැදියකින් රැගෙන ගොස් කුරුවිට නගරයේ පාලමකින් ගඟට දැමූ බවටද සැකකරු පාපොච්චාරණය කර ඇත. ඉකුත් 25 වන දින සැකකරු එම ස්ථාන වෙත කැඳවාගෙන ගොස් ක්ෂේත්‍ර පරීක්ෂණ පවත්වා තිබේ.
සාප්පු සවාරියේ මුවාවෙන් සිදුවූ අබිරහස් අතුරුදන්වීම

මෙම ඝාතනය සිදුවූ වකවානුවේ සැකකරු සමඟ ප්‍රේම සබඳතාවක් පවත්වාගෙන ගිය කුරුවිට, එක්නැලිගොඩ ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි සුනේත්‍රා රාජකරුණා නමැති තරුණිය මෙම අපරාධය සහ ඊට අදාළ දුරකථන කෙටි පණිවිඩ පිළිබඳ දැනුවත්ව සිට ඇති බව හෙළිවී තිබේ. අපරාධය පිළිබඳ සාක්ෂි වසන් කිරීමේ අරමුණින් සැකකරු ඇයව ඉන්දියාවට කැඳවාගෙන ගොස් ඇති බව විමර්ශනවලදී අනාවරණය විය.
2019 පෙබරවාරි 02 වන දින සාප්පු සවාරියක් සඳහා බව පවසමින් ඇයව ඉන්දියාවට කැඳවාගෙන ගොස් එරට රැඳී සිටි 'දරුන්' නමැති සංවිධානාත්මක අපරාධකරුට භාරදී සැකකරු යළි දිවයිනට පැමිණ ඇති අතර, ඉන් අනතුරුව එම තරුණිය පිළිබඳ කිසිදු තොරතුරක් ලැබී නොමැති බව පොලිසිය පවසයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට සහ නියෝජ්‍ය පොලිස්පති ශානි අබේසේකර ගේ උපදෙස් මත, මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයේ නිලධාරීහු සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.




