*විශේෂ නඩු කටයුත්තක් සේ සලකා නීතිපතිවරයාගෙන් ඍජු අධිචෝදනා; වැඩිදුර විභාගය ඔක්තෝබර් 19ට
අනුරාධපුර ශික්ෂණ රෝහලේ පුහුණු ළමා රෝග විශේෂඥ වෛද්‍යවරියකට සිය නිල නිවාසය තුළදී බරපතළ ලිංගික හිංසනයක් සිදුකිරීම සම්බන්ධයෙන් හිටපු හමුදා සෙබළෙකුට එරෙහිව පවතින නඩුවේ වින්දිත වෛද්‍යවරිය පළමු වරට අනුරාධපුර මහාධිකරණය හමුවේ ඊයේ (28) සාක්ෂි ලබා දුන්නා ය.
උතුරු මැද පළාත් බද මහාධිකරණ විනිසුරු ඉන්දික අත්තනායක ඉදිරියේ මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී, නඩුවට අදාළ නොවන සියලු පාර්ශ්වයන් විවෘත අධිකරණ ශාලාවෙන් ඉවත් කිරීමට පියවර ගැනිණි. ඉන් අනතුරුව රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ හිමාලි ජයනෙත්තිගේ යටතේ පැමිණිලිකාර වෛද්‍යවරිය පැය එකහමාරකට අධික කාලයක් සිය සාක්ෂිය ඉදිරිපත් කළා ය.
නීතිඥ නියෝජනය සහ නඩු විභාගය
නඩුව කැඳවූ අවස්ථාවේ නීතිපතිවරයා නියෝජනය කරමින් රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ හිමාලි ජයනෙත්ති පෙනී සිටි අතර, විත්තිකරු වෙනුවෙන් නීතිඥ සුරංග මොහොට්ටි සහ නීතිඥ ගයාන් සිරිවර්ධන පෙනී සිටියහ.
වින්දිත වෛද්‍යවරියගේ අයිතිවාසිකම් වෙනුවෙන් ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්සගේ උපදෙස් මත නීතිඥවරුන් වන කූජන බානගොඩ, මදාරා විජේසිංහ, ජනිත් මහසෙන් සහ සුභාෂිණී වීරක්කොඩි අධිකරණය හමුවේ පෙනී සිටින බව දැනුම් දෙන ලදී.
ඍජු අධිචෝදනා සහ සාක්ෂි භාණ්ඩ
2025 මාර්තු මස 10 වන දින හෝ ඊට ආසන්න දිනයකදී මෙම අපරාධය සිදු කිරීම සම්බන්ධයෙන්, සංශෝධිත දණ්ඩ නීති සංග්‍රහයේ 345 සහ 364(1) වගන්ති යටතේ නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කර ඇත. මහේස්ත්‍රාත් අධිකරණයේ ලඝු නොවන මූලික විභාගයකින් තොරව, විශේෂ නඩු කටයුත්තක් ලෙස සලකා නීතිපති දෙපාර්තමේන්තුවේ රජයේ අධිනීතිඥ අකිලා දල්පදාදු විසින් ඍජුවම මහාධිකරණය හමුවේ මෙම නඩුව පවරා තිබේ.
ගල්නෑව නව නගරයේ පදිංචිකරුවෙකු වන කේ.බී. මධුරංග රත්නායක නමැති හිටපු හමුදා සෙබළා මෙම නඩුවේ ප්‍රධාන විත්තිකරු වේ. සිද්ධියෙන් පසු වෛද්‍යවරිය සතු වූ ස්මාර්ට් ජංගම දුරකථනය සොරකම් කිරීමේ වෙනම චෝදනාවකට ඔහු මීට පෙර වරද පිළිගෙන මාස හයක සිර දඬුවමකට ද ලක්ව සිටී.
විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී සම්පත් සේනතුංග, අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.එම්. ජයවීර සහ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි නිශානි සෙනෙවිරත්න ඇතුළු 42 දෙනෙකු මෙහි සාක්ෂිකරුවන් ලෙස නම් කර ඇත. ඊට අමතරව පිහියක්, රුධිර හා කෙස් සාම්පල, ජංගම දුරකථනය, ජීන්ටෙක් සහ රජයේ රස පරීක්ෂක වාර්තා ඇතුළු නඩු භාණ්ඩ රැසක් සාක්ෂි ලෙස ලැයිස්තුගත කර තිබේ.
වැඩිදුර නඩු විභාගය ඔක්තෝබර් 19ට
අදාළ ජංගම දුරකථනය පිළිබඳ රජයේ රස පරීක්ෂක වාර්තාව සහ දුරකථන ඇමතුම් විශ්ලේෂණ වාර්තාව ඊළඟ නඩු දිනයේදී ඉදිරිපත් කරන ලෙස අදාළ ආයතන වෙත නියෝග කෙරිණි.
වෛද්‍යවරියගේ සාක්ෂි විමසීම ඔක්තෝබර් මස 19 වන දින දක්වා කල් තැබූ මහාධිකරණ විනිසුරුවරයා, එදිනට වැඩිදුර සාක්ෂි ලබා දීම සඳහා වින්දිත වෛද්‍යවරියට සහ දෙවන සාක්ෂිකරු වන ඇගේ පියාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කළේ ය.




