*ප්‍රධාන අරමුණ නඩු ප්‍රමාදය අවම කිරීම බවත්, ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට පූර්ණ ලෙස ගරු කරන බවත් අවධාරණය කෙරේ
යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව ඉහළ දැමීම සහ විනිසුරු සංඛ්‍යාව වැඩි කිරීම හරහා මෙරට අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට කිසිදු ආකාරයක අනිසි බලපෑමක් එල්ල නොවන බව ශ්‍රී ලංකා රජය එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත නිල වශයෙන් දැනුම් දී තිබේ.
විනිසුරුවරුන්ගේ සහ නීතිඥවරුන්ගේ ස්වාධීනත්වය පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකාරිනී (UN Special Rapporteur) මහාචාර්ය මාග්‍රට් සැටර්ත්වේට් (Margaret Satterthwaite) විසින් යොමු කරන ලද සන්නිවේදනයකට ප්‍රතිචාර දක්වමින්, ජිනීවාහි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලය හරහා මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය (OHCHR) වෙත මෙම ලිඛිත පිළිතුර යොමු කර ඇත.
විශේෂ වාර්තාකාරිනියගේ නිරීක්ෂණය සහ මතුවූ තර්ක
යෝජිත ව්‍යවස්ථා සංශෝධනය මඟින් ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට සැලසුම් කර ඇති පසුබිමක, එම ප්‍රතිපාදන දැනට සේවයේ නියුතු විනිසුරුවරුන් කෙරෙහිද බලපැවැත්වෙන ආකාරය පිළිබඳව එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකාරිනිය සිය නිරීක්ෂණ පළ කර තිබුණි. මෙවැනි ක්‍රියාවලියක් හරහා විධායකය සහ අධිකරණය අතර පවතින බල තුලනය කෙරෙහි ඇති විය හැකි බලපෑම සහ අධිකරණ ස්වාධීනත්වය පිළිබඳ ජාත්‍යන්තර ප්‍රමිතීන් ආරක්ෂා වීමේ වැදගත්කම ඇයගේ සන්නිවේදනය මඟින් පෙන්වා දී තිබිණි.
රජය ඉදිරිපත් කළ කරුණු සහ පදනම
එම කරුණු සම්බන්ධයෙන් රජය යොමු කළ කරුණු දැක්වීමේ සඳහන් වන්නේ මෙම සංශෝධන කිසිසේත්ම විධායකයේ අභිමතය පරිදි හෝ දේශපාලන අවශ්‍යතා මත සකස් කර නොමැති බවයි. ජාත්‍යන්තර වශයෙන් පිළිගත් අධිකරණ පරිචයන්ට අනුකූලව මෙම පියවර ගෙන ඇති බව පෙන්වා දෙන රජය, මෙහි ප්‍රධාන අරමුණු කිහිපයක් මෙසේ ලේඛනගත කර ඇත.
නඩු කටයුතු කඩිනම් කිරීම:
ඉහළ අධිකරණවල පවතින අධික නඩු තදබදය (case backlog) සහ වසර ගණනාවක් පුරා පවතින නඩු ප්‍රමාදයන් අවම කරමින් යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම කිරීම.
විධායක මැදිහත්වීම් නොමැති වීම:
මෙම වයස් සංශෝධනය තනි තනි විනිසුරුවරුන් තෝරා බේරා ගනිමින් ඔවුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීමේ (individual extension) අභිමතයක් විධායකයට ලබා නොදෙන, සමස්ත පද්ධතියටම එකලෙස අදාළ වන ව්‍යවස්ථාපිත ප්‍රතිපාදනයක් වීම.
අධිකරණ ධාරිතාව පුළුල් කිරීම:
විනිසුරු සංඛ්‍යාව ඉහළ දැමීම මඟින් අධිකරණ පීඨවල ධාරිතාව සහ කටයුතු වඩාත් පුළුල් මට්ටමකට ගෙන ඒම.
අධිකරණ ක්‍රියාවලිය සහ ඉදිරි පියවර
මෙම යෝජිත ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත දැනටමත් ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳ පරීක්ෂාවට ලක්ව ඇති බව රජය එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත සිහිපත් කර තිබේ.
ඒ අනුව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ උත්තරීතර භාවය සුරකිමින් අධිකරණ ක්‍රියාවලියට පූර්ණ ඉඩකඩ ලබා දී ඇති බවත්, මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදෙන ඕනෑම නිල තීන්දුවක් හා නිර්දේශයක් රජය විසින් පූර්ණ වශයෙන් පිළිගෙන ඊට ගරු කරන බවත් ජිනීවා නිත්‍ය නියෝජිත කාර්යාලය නිකුත් කළ නිල පිළිතුරේ වැඩිදුරටත් අවධාරණය කර ඇත.








සබැඳි පුවත :
විනිසුරු විශ්‍රාම වයස සංශෝධනය ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් රජයට නිල සන්නිවේදනයක්!




