* ඉදිරි දිනයකදී කොමිසම හමුවේ පෙනී සිටින බවට නීතිඥවරුන්ගෙන් සහතිකයක්
පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක ගේ පාර්ලිමේන්තු පාරේ පිහිටි නිවස වෙත අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් අද (29) පෙරවරුවේ පැමිණ තිබේ.
සිදුකෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා කොමිසම හමුවේ පෙනී සිටින ලෙස මන්ත්‍රීවරයා වෙත මීට පෙර දැනුම්දීමක් සිදුකර තිබූ බවත්, ඊට අදාළව ඔහු පැමිණ නොසිටීම හේතුවෙන් මෙලෙස නිලධාරීන් පිරිසක් ඔහුගේ නිවස වෙත පැමිණ ඇති බවත් ආරංචි මාර්ග සඳහන් කරයි.
“මඟහැරීමක් නෑ - නීතිඥයන් දැනුම්දී තිබුණා”
කෙසේ වෙතත්, මෙම සිදුවීම සම්බන්ධයෙන් රවී කරුණානායක ගේ පවුලේ සමීපතම ආරංචි මාර්ගයක් සඳහන් කරන්නේ මන්ත්‍රීවරයා කිසිදු ආකාරයකින් කොමිසම මඟහැරීමක් සිදුකර නොමැති බවයි.
විමර්ශනයකට අදාළව ඊයේ (28) දින අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස මන්ත්‍රීවරයාට දැනුම්දී තිබූ බව තහවුරු කළ එම පාර්ශ්වය, පවතින නිවාඩු සමය හේතුවෙන් ඔහු සිය පවුලේ සාමාජිකයන් සමඟ කොළඹින් බැහැරව ගොස් සිටින බව පෙන්වා දුන්නේය.
එම හේතුව නිසා නියමිත දිනට පෙනී සිටීමට ඇති නොහැකියාව පිළිබඳව මන්ත්‍රීවරයාගේ නීතිඥවරුන් මාර්ගයෙන් අල්ලස් කොමිසම වෙත පෙර දැනුම්දීමක් කරමින් වෙනත් දිනයක් ඉල්ලා සිටි බවත්, ඒ සඳහා නව දිනයක් ලබාදීමට අල්ලස් කොමිසම එකඟතාව පළකර තිබූ බවත් එම පාර්ශ්වය වැඩිදුරටත් අනාවරණය කළේය.
නීතිමය ක්‍රියාපටිපාටිය සහ ඉදිරි පියවර
නීතිඥවරුන් හරහා නිල වශයෙන් දැනුම්දී වෙනත් දිනයක් ලබාගැනීමට කටයුතු කර තිබූ පසුබිමක මෙලෙස නිලධාරීන් පිරිසක් නිවස වෙත පැමිණීම සිදු වූ බව පෙන්වා දෙන මන්ත්‍රීවරයාගේ පාර්ශ්වය, තමන් නීතියට සහ විමර්ශන ක්‍රියාවලියට පූර්ණ සහයෝගය ලබාදෙන බව අවධාරණය කරයි.
ඒ අනුව, නීතිඥවරුන්ගේ උපදෙස් හා එකඟ වූ ඉදිරි දිනයකදී රවී කරුණානායක මන්ත්‍රීවරයා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටිමින් අදාළ විමර්ශන කටයුතුවලට සහයදීමට සූදානම් බව ඔහුගේ නීතිඥ කණ්ඩායම අවධාරණය කර සිටී.




