* මත්ද්‍රව්‍ය නිසා දිනකට සිදුවන මරණ සංඛ්‍යාව 80ත් 100ත් අතර මට්ටමක පවතියි
ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල සිසුන්, තාක්ෂණ විද්‍යා පීඨ සහ ආගමික ස්ථාන ඉලක්ක කරගනිමින් විෂ මත්ද්‍රව්‍ය භාවිතය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වී ඇති බව ‘රටම එකට’ ජාතික මෙහෙයුම විසින් අනාවරණය කරනු ලැබිය.
කොළඹ 07, විජේරාම මාවතේ පිහිටි ‘රටම එකට’ ජාතික මෙහෙයුම් ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රජරට විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ පීඨාධිපති ආචාර්ය මනෝජ් ප්‍රනාන්දු මේ බව හෙළි කළේය. සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සිදුකරන මත්ද්‍රව්‍ය ප්‍රචාරණ කටයුතු හේතුවෙන් තරුණ ප්‍රජාව මෙම උවදුරට නැඹුරු වීමේ ප්‍රවණතාව තවදුරටත් වැඩි වී ඇති බව ඔහු පෙන්වා දුන්නේය.
‘පාඩම් කිරීමේ මිථ්‍යාව’ සහ දෛනික මරණ සංඛ්‍යාව
විශ්වවිද්‍යාල ප්‍රජාව තුළ මත්ද්‍රව්‍ය භාවිතය ඉහළ යාම පිටුපස පවතින සමාජීය සහ මනෝවිද්‍යාත්මක තත්ත්වයන් පැහැදිලි කරමින් ආචාර්ය මනෝජ් ප්‍රනාන්දු මෙසේ සඳහන් කළේය.
"විශ්වවිද්‍යාල සිසුන් මත්ද්‍රව්‍ය භාවිත කිරීම වැඩිවී තිබෙනවා. මත්ද්‍රව්‍ය ගත්තොත් නිදිමත එන්නේ නෑ, පාඩම් කරන්න පුළුවන් වගේ වැරදි මත සමාජගතවීම හේතුවෙන් ඇතැම් විශ්වවිද්‍යාල සිසුන් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී තිබෙනවා. එලෙස මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූවන් ඉන් මුදා ගැනීම සඳහා පුනරුත්ථාපන වැඩසටහන් රැසක් ‘රටම එකට’ ජාතික මෙහෙයුම හරහා ක්‍රියාවට නංවා තිබෙනවා."
මෙරට නීති විරෝධී මත්ද්‍රව්‍ය ව්‍යාප්තියේ ආරම්භය නීතිගත මත්ද්‍රව්‍ය හරහා සිදුවන බව පෙන්වා දුන් ආචාර්ය මනෝජ් ප්‍රනාන්දු, දුම්පානය නිසා පමණක් දිනකට පුද්ගලයින් 50ක් පමණ මියයන බවත්, සමස්තයක් ලෙස මත්ද්‍රව්‍ය හා ඒ ආශ්‍රිත රෝගාබාධ නිසා දිනකට සිදුවන මරණ සංඛ්‍යාව 80ත් 100ත් අතර අගයක පවතින බවත් සඳහන් කළේය. කොවිඩ් වසංගත සමයේදීවත් මත්ද්‍රව්‍යවලින් දිනකට සිදුවන මරණ වාර්තාව පහළට දැමීමට නොහැකි වූ බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
ජාතික මට්ටමේ මැදිහත්වීම් සහ වගකීම
ජාත්‍යන්තර හා දේශීය සෞඛ්‍ය වාර්තා පෙන්වා දෙන ආකාරයට, මත් උවදුර පාලනය කිරීම සඳහා නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කිරීම මෙන්ම සමාජීය දැනුවත්භාවය වර්ධනය කිරීම අත්‍යවශ්‍ය වේ. විශේෂයෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රය සහ තරුණ ප්‍රජාව මෙම විනාශකාරී උවදුරෙන් මුදා ගැනීම සඳහා පක්ෂ, පාට හෝ වෙනත් භේදවලින් තොරව සියලු පාර්ශවයන්ගේ සාමූහික මැදිහත්වීම සහ ජාතික මට්ටමේ ක්‍රියාකාරී සැලැස්මක් ක්‍රියාත්මක කිරීමේ කාලීන අවශ්‍යතාව මේ හරහා යළිත් අවධාරණය කෙරේ.
විෂ මත්ද්‍රව්‍ය නිවාරණය සහ පාලනය කිරීමේ වැඩසටහන් තවදුරටත් පුළුල් කරමින්, බලපෑමට ලක්වූවන් පුනරුත්ථාපනය කිරීම සඳහා වන ප්‍රායෝගික ක්‍රියාමාර්ග අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට ‘රටම එකට’ ජාතික මෙහෙයුම කටයුතු කරමින් සිටියි.




