The Leader News
BREAKING
සිත්තර චිත්‍රකතා පත්තරයට වසර 51යි●සංවිධානාත්මක අපරාධ පනතේ 'ටැටූ සහ ඇඳුම්' වගන්තිය ගැන ආණ්ඩුව සහ නීතිඥ ක්ෂේත්‍රය අතර වාදයක්●හාස්‍යයේ රජු චක් ලොරීගෙන් අනාවරණයක්●HSBC ගෝලීය සේවා මධ්‍යස්ථානය වැසෙයි: ආර්ථිකයට එල්ලවන බලපෑම●මානව හිමිකම් තීන්දුව කුණුකූඩයට: රේගුව දෙමළ පොත් සිරකොට තබාගනී●බෙංගාල බොක්ක කැළඹෙයි: දිවයිනට තද වැසි සහ ගංවතුර අනතුරු ඇඟවීමක්●මරා දමා අවුරුදු 26ක් ගතවූ පසුවත් යුක්තිය නොලද නිමලරාජන් උතුරේ දී සැමරේ●ප්‍රවීණ ඡායාරූප මාධ්‍යවේදී තිලක් පෙරේරා දැයෙන් සමුගනී●විශ්‍රාමික වැටුප් අර්බුදය ගැන විපක්ෂ නායකගෙන් අනාවරණයක්●ඇත් ඝාතන නඩු සකසන දුර්වලතා ගැන මහාධිකරණයෙන් රතු එළියක්●
Top Ad
පුවත්

මානව හිමිකම් තීන්දුව කුණුකූඩයට: රේගුව දෙමළ පොත් සිරකොට තබාගනී

Nethmini

Nethmini

October 21, 2026 • 9:31 AM

මානව හිමිකම් තීන්දුව කුණුකූඩයට: රේගුව දෙමළ පොත් සිරකොට තබාගනී

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අත්අඩංගුවේ රඳවාගෙන සිටින සිය කෘති තුන්සිය හැටක් මුදා හැරීම වෙනුවෙන් මැදිහත් වන බවට අමාත්‍යවරයකු සහතික වී අඩ වසරකට වැඩි කාලයක් ගතව තිබියදීත් එම පොත් මේ දක්වාම නිදහස් නොකිරීම සම්බන්ධයෙන් සිංහල පාඨක සම්භාවනාවට පාත්‍රවූ දෙමළ ගත් කතුවරයකු දැඩි මානසික පීඩනයකට ලක්ව සිටී.
  • මානව හිමිකම් කොමිසම දුන් තීන්දුව වහාම ක්‍රියාත්මක කරන ලෙස ලේඛකයන්, කලාකරුවන්, නීතිඥයන් හා වෘත්තීය සමිති ක්‍රියාධරයන් ඇතුළු පිරිසක් කොළඹදී මාධ්‍ය හමුවේ ඉල්ලා සිටියහ.
  • "ඔවුන් එදාම මේ පොත් නිදහස් කරලා තිබුණා නම් මේ අවුල මේ තරම් දුරකට යන්නේ නැතිව ඇති.
  • පහුගිය කාලයේදී අපි මුහුණ දුන්නේ නැති අත්දැකීම් මේ ආණ්ඩුව අපිට ලබා දීලා තියෙනවා කියන එක අමතක කරන්න බැරි ඇත්තක්.
අකුරු ප්‍රමාණය (Font Size):

අත්අඩංගුවේ රඳවාගෙන සිටින සිය කෘති තුන්සිය හැටක් මුදා හැරීම වෙනුවෙන් මැදිහත් වන බවට අමාත්‍යවරයකු සහතික වී අඩ වසරකට වැඩි කාලයක් ගතව තිබියදීත් එම පොත් මේ දක්වාම නිදහස් නොකිරීම සම්බන්ධයෙන් සිංහල පාඨක සම්භාවනාවට පාත්‍රවූ දෙමළ ගත් කතුවරයකු දැඩි මානසික පීඩනයකට ලක්ව සිටී.

ප්‍රදීපන් දීපචෙල්වන්ගේ දෙමළ පොත් ලංකා කලා මණ්ඩලයේ අනුග්‍රහයෙන් රේගු අත්අඩංගුවේ තබාගැනීම මඟින් භාෂාව පදනම් කරගෙන වෙනස්කම් පෑමෙන් කතුවරයාට තමන්ගේම සංස්කෘතිය හා තමන්ගේම භාෂාව ප්‍රවර්ධනයේත් භාවිතයේත් අයිතිය රේගුව විසින් උල්ලංඝනය කරන ලද බව පසුගියදා තීන්දු කළ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම වහාම එම පොත් මුදාහරින ලෙස නිර්දේශ කර තිබුණි.

මානව හිමිකම් කොමිසම දුන් තීන්දුව වහාම ක්‍රියාත්මක කරන ලෙස ලේඛකයන්, කලාකරුවන්, නීතිඥයන් හා වෘත්තීය සමිති ක්‍රියාධරයන් ඇතුළු පිරිසක් කොළඹදී මාධ්‍ය හමුවේ ඉල්ලා සිටියහ.

දෙමළ භාෂා ඥානයක් හෝ පොතකින් ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි ආකාරය පිළිබඳ විශේෂඥ දැනුමක් හෝ නොමැතිව ජාතික ජන බලවේග ආණ්ඩුවේ කලා මණ්ඩලයේ නිල හොබවන සාමාජිකයන් දීපචෙල්වන් ලේඛකයාගේ මානව හිමිකම් කඩ කරමින් පොත් තහනමකට හවුල් වී 'හෙලුව පෙන්නීම' ගැන ලංකා ගුරු සංගම් නායක ජෝසප් ස්ටාලින් ද කනගාටුව පළකර තිබුණි.

"මාස ගණනාවක් තිස්සේ ලොකු මානසික පීඩනයක්"

ජී. ජී. සරත් ආනන්ද විසින් 'ස්මාරක ශිලාවත' යනුවෙන් සිංහලට නගන ලද, යුද්ධාවසානයෙන් පසුව උතුරේ ලියැවුණු පළමු නවකතාව සේ සැලකෙන 'නඩුගල්' (நடுகல்) කෘතියේ කතුවරයා ලෙසින් මහත් පාඨක, විචාරක අවධානය දිනාගත් ප්‍රදීපන් දීපචෙල්වන් පවසන්නේ සිය කෘති දීර්ඝ කාලයක් තිස්සේ රේගුව මෙලෙස අත්අඩංගුවේ රඳවාගැනීම මඟින් තමන් දැඩි ආතතියකට ලක්ව සිටින බවයි.

"ඔවුන් එදාම මේ පොත් නිදහස් කරලා තිබුණා නම් මේ අවුල මේ තරම් දුරකට යන්නේ නැතිව ඇති. බලාපොරොත්තුවක් දීලා පොත් දෙකක් නිදහස් කරලා තවත් පොත් දෙකක් රඳවා ගත්තා. ඇත්තටම මාස ගණනාවක්. මාස හයකට වැඩි කාලයක්. මේක මට ලොකු මානසික පීඩනයක්. මගේ ලිවීමේ වැඩවලට බලපෑමක් කියලා විවිධ බාධාවන්, විවිධ අවුල් සහගත දේවල් මාව දැඩි ආතතියකට ලක් වුණ කාලයක් විදිහට මේ කාලය තිබුණා."

කලාකරුවකු ලෙස නම් දරා සිටින ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි අමාත්‍යවරයකු ලෙස පත්වීමෙන් පසුව සිය අතීත භූමිකාව අමතක කර මේ රාජ්‍ය යාන්ත්‍රණය තුළ සිටම කටයුතු කරන්නකු බව මේ වන විට ඔප්පු කර හමාර යැයි කතුවර ප්‍රදීපන් දීපචෙල්වන් වැඩිදුරටත් කියා සිටී.

"මේ ආණ්ඩුව කලාකරුවන්ව කොයි තරම් දුරට මර්දනය කරනවා ද, කොයි තරම් දුරට වේදනාවට පත් කරනවා ද කියන එකට මේක ලොකු උදාහරණයක්. පහුගිය කාලයේදී අපි මුහුණ දුන්නේ නැති අත්දැකීම් මේ ආණ්ඩුව අපිට ලබා දීලා තියෙනවා කියන එක අමතක කරන්න බැරි ඇත්තක්. සුනිල් සෙනෙවි මහත්තයා කලාකරුවෙක් විදිහට කලාකරුවන් එක්ක කටයුතු කරන කෙනෙක් විදිහට පහුගිය කාලයේදී හිටියා කියලා මගේ යාළුවන් කිහිප දෙනෙක් කියලා තියෙනවා. ඒත් බලය, ඇමතිකම් කියන දේවල් ලැබෙද්දී එයාත් මේ රාජ්‍ය යාන්ත්‍රණය තුළ ඉඳන් කටයුතු කරන කෙනෙක් විදිහටයි මම හිතන්නේ."

භාෂාව නිසා මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක්

දෙමළෙන් ලියවුණු නිසාම "இப்போதும் இங்கே இரண்டு தேசங்கள்தான்" (තාමත් මෙහෙ රටවල් දෙකක්) සහ "எழுத்தால் நான் யுத்தம் செய்கிறேன்" (අකුරෙන් මම යුද්ධ කරමි) කෘති රේගුව විසින් දිගටම රඳවා තබාගැනීම මඟින් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 (2) වගන්තියෙන් සලසා දී ඇති භාෂාව පදනම් කරගෙන වෙනස්කම්වලට ලක් නොවීමට දීපචෙල්වන් සතු අයිතිය උල්ලංඝනය කර ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පවසයි.

ලේඛක දීපචෙල්වන් පවසන්නේ සිය කෘති සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නිර්දේශ දෙමළ භාෂාවෙන් ලියන ලේඛකයකුට තමන්ගේ සංස්කෘතිය, තමන්ගේ භාෂාව සම්බන්ධයෙන් පවතින අයිතිය අවධාරණය කළ තීන්දුවක් බවයි.

"ශ්‍රී ලංකාවට අනුව දෙමළ ලේඛකයෙක්, දෙමළ භාෂාවෙන් ලියන පොතක් සැකයට භාජනය වන නිර්මාණයක් විදිහට, විශ්වාස කරන්න බැරි නිර්මාණයක් විදිහට සලකන වාතාවරණයක් ඇති වෙලා තියෙනවා. මේ වගේ පසුබිමක දෙමළ භාෂාව ගැන තියෙන අවබෝධයක් නැතිකම වගේම බය, දෙමළ කලාකරුවන් ගැන තියෙන අවබෝධයක් නැතිකම වගේම බය වගේ වැදගත් කාරණා. ඒ කියන්නේ රාජ්‍ය ආයතනවලට, ආණ්ඩු පාර්ශ්වයට තියෙන බය, විශ්වාසය නැතිවීම, මානව හිමිකම් කොමිෂන් සභාවේ නිර්දේශයෙන් පෙන්වලා දීලා තියෙනවා. ඒ වගේම පක්ෂපාතී ක්‍රියාමාර්ග, මූලික මානව හිමිකම් උල්ලංඝනය කිරීම්, දෙමළ භාෂාවෙන් ලියන ලේඛකයකුට තමන්ගේ සංස්කෘතිය, තමන්ගේ භාෂාව සම්බන්ධයෙන් තියෙන අයිතිය වගේ දේවල් අවධාරණය කළ තීන්දුවක්."

ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ඉල්ලා සිටින යුක්තිය ඉටුවීම පිළිබඳව බරපතළ ප්‍රශ්න පැවතියද, තමා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ලබා දී ඇති නිර්දේශ ඉතා වැදගත් බව ප්‍රදීපන් දීපචෙල්වන් තවදුරටත් සඳහන් කරයි.

'කොට්ටය පාස් කරමින්' වගකීමෙන් පැනයෑම

රේගු අත්අඩංගුවේ රඳවාගෙන සිටින ප්‍රදීපන් දීපචෙල්වන්ගේ කෘති නිදහස් කිරීම පිළිබඳ තීරණයක් ගැනීමේදී ආණ්ඩුවේ බලධාරීන් ‘කොට්ටය පාස් කරමින්’ වගකීමෙන් මඟහැරීමට උත්සාහ කළ නාටකීය ස්වභාවය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ වාර්තාවෙන් හෙළිවේ.

“ශ්‍රී ලංකා රේගුව එය පැවරුවේ ආරක්ෂක අමාත්‍යාංශයටය. පොත් ජාතික ආරක්ෂාවට අගතිදායක යැයි ඒ වනවිටත් කියා තිබූ ආරක්ෂක අමාත්‍යාංශය එය බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික අමාත්‍යාංශයට පැවරීමට කැමැත්තෙන් සිටියේය. අදාළ කාරණය ස්වකීය අධිකාරය යටතේ පවතින්නක් නොවන බව කියා පවරන ලද කලා මණ්ඩලය අන්තිමේදී එය පවරා දුන්නේ බාහිර දෙමළ භාෂා විද්වතුන්ටය,” යි කොමිසම පවසයි.

ප්‍රදීපන් දීපචෙල්වන් පවසන්නේ දෙමළ ලේඛකයකුගේ කෘති සම්බන්ධයෙන් පවා මෙලෙස කටයුතු කරන වත්මන් ආණ්ඩුව සහ බලධාරීන් දෙමළ ජනතාවගේ අනෙකුත් ප්‍රශ්නවලට සාධාරණ විසඳුම් ලබාදෙනු ඇතැයි කිසිසේත් විශ්වාස කළ නොහැකි බවයි.

"මෙයාලාට අපේ ප්‍රශ්නය මුල ඉඳලා කියන්න කිසිම අවශ්‍යතාවක් නැහැ. එයාලා අපිටත් වඩා අපේ නායකයන්ට වඩා ඉතා ගැඹුරු විදිහට අපේ ප්‍රශ්න ගැන කතා කරපු අය. ඒත් අද පසුගිය කාලයේ රනිල්ගේ පාලනයේ, ගෝඨාභයගේ පාලනයේ, මහින්ද රාජපක්ෂගේ පාලනයේ කොහොමද දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳන්නේ නැතිව, ඒවා නොදැක හිටියා වගේ කිසිම උත්සාහයක් ගන්නේ නැතිව හිටියා වගේ ක්‍රමවේද මේ ආණ්ඩුවත් අනුගමනය කරගෙන යනවා. දැනට ආණ්ඩු බලය අරගෙන අවුරුදු දෙකකට වැඩියි. දෙමළ ජනතාවගේ දේශපාලන පාලන අයිතිය, සිරකරුවන් නිදහස් කිරීම, ඒ වගේම වර්ග සංහාරය, යුද අපරාධ සම්බන්ධ ප්‍රශ්නවලට විසඳුමක් නැත්නම් යුක්තියක්—මේ වගේ කිසිම කරුණකට අඩියක්වත් ඉස්සරහට යන්නේ නැතිව ඉන්නවා. මේක පහුගිය ආණ්ඩුවෙත් මේ ආණ්ඩුවෙත් කිසිම වෙනසක් නෑ."

ජනවරමට පිටුපෑ මර්දනයේ දේශපාලනය

දෙමළ ජනතාවගේද විශාල දායකත්වයක් සහිතව බලයට පැමිණි වත්මන් ජාතික ජන බලවේගයේ ආණ්ඩුව දෙමළ ජනතාවට යුක්තිය ඉටුකිරීම වෙනුවට ඔවුනට එරෙහිව දිගින් දිගටම මර්දනය ක්‍රියාත්මක කරමින් සිටින බවයි ප්‍රදීපන් දීපචෙල්වන් වැඩිදුරටත් පවසන්නේ.

"ඒ වෙනුවට කලාකරුවන් මර්දනය කිරීම වගේ දේවල්, ස්මරණය කිරීම් ඉතා සූක්ෂ්ම විදිහට පාලනය කිරීම වැනි දෙමළ ජනතාවට එරෙහි මර්දනය මේ ආණ්ඩුව දිගටම කරගෙන යනවා. ඇත්තටම ලංකාවේ දෙමළ ජනතාව මේ පාලනය වෙනුවෙන් සෑහෙන ප්‍රමාණයකට පක්ෂපාත වුණා. ඉතිහාසයේ දකුණේ පක්ෂයක් වෙනසක් වෙනුවෙන් NPPය වැඩි ආසන ගාණක් උතුරු නැගෙනහිර පළාත්වල, යාපනයේ ලබාගත්තා. එහෙම වුණත් දෙමළ ජනතාවට අයිතිවාසිකම් බෙදාගැනීමට මේ පාලනය, ආණ්ඩුව පියවර ගත්තේ නැහැ කියන එක අපේ ඉතිහාසයටත් වර්තමානයටත් තොරතුරු දුන්නා කියලයි මම විශ්වාස කරන්නේ."

දීපචෙල්වන් ලේඛකයාගේ මානව හිමිකම් කඩ කරමින් පොත් තහනමකට හවුල් වීම ගැන සිංහල ලේඛකයන් හා වෘත්තීය සමිති නායකයන් ඇතුළු දකුණේ සමූහයක් විසින් ජාතික ජන බලවේග ආණ්ඩුවේ කලා මණ්ඩලයේ නිල හොබවන සාමාජිකයන් දැඩි දෝෂදර්ශනයට ලක් කෙරිණි.

"මේ රටේ දැනට ජාතික ජන බලවේග ආණ්ඩුවේ සාහිත්‍ය අනුමණ්ඩලයේ කවුද ඉන්නේ? ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන, ඒ වගේම ජයතිලක කම්මැල්ලවීර වැනි ලේඛකයෝ. මේ අය මේ රටේ සාහිත්‍ය නිදහස වෙනුවෙන් කතා කරපු අය. මේ රටේ සහජීවනය වෙනුවෙන් කතා කරපු අය. මේ අය ජාතික ජන බලවේග ආණ්ඩුව තුළට ගිහිල්ලා, ආණ්ඩුව තුළට ඉදිරියට ගිහිල්ලා මේ කෘති තහනම් කරන තත්ත්වයට පත්වුණේ ඇයි? ඉතාම කනගාටුදායක තත්ත්වයක්. මේ රටේ මේ සාහිත්‍යධරයන් සම්බන්ධයෙන්, මේ සිවිල් බුද්ධිමතුන් හැටියට මේ අය සම්බන්ධයෙන් පිළිගැනීමක් තිබ්බා. ඒ පිළිගැනීම තුළ ඔවුන් කරපු කටයුත්ත කුමක්ද මේ? විශේෂ කාර්යභාරයක් කරේ මේගොල්ලෝ. දැන් අපි දැක්කා මේ පොත් තහනම් කිරීම සම්බන්ධයෙන් ඔවුන් පෙනී සිටියා. ඒ පෙනී හිටියාට පස්සේ දැන් මානව හිමිකම් කොමිසම එවැනි තීරණයක් ආවාට පස්සේ ඒගොල්ලෝ මොකද කියන්නේ? ඉතින් අපිට ඉතාම පැහැදිලියි මේ රජයක් ආරක්ෂා කිරීම වෙනුවෙන් ලේඛක කලාකරුවෙක්ගේ නිර්මාණවලට බාධා කරන්න මේ වගේ කට්ටිය ඉස්සරහට ඒම සම්බන්ධයෙන් අපි ඉතාම කනගාටු වෙනවා," යි ලංකා ගුරු සංගම් නායක ජෝසප් ස්ටාලින් කොළඹදී මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේය.

"ආණ්ඩුවලට ගිහින් හෙළුව ප්‍රදර්ශනය කරන්න එපා"

මෙවැනි ආකාරයේ ආණ්ඩු තුළට ‘කුලියට වැඩ කිරීමට’ රිංගා සිය පුද්ගලික දියුණුව සහ පැවැත්ම වෙනුවෙන් කටයුතු නොකරන ලෙස රට තුළ සාහිත්‍යධරයන් හා සිවිල් බුද්ධිමතුන් ලෙස පිළිගැනීමක් ඇති සියලු දෙනාගෙන් ගුරු සංගම් නායකයා වැඩිදුරටත් ඉල්ලා සිටියේය.

"අපි දැක්කා පසුගිය ආණ්ඩුවලත් මේ ආකාරයෙන් කුලියට වැඩ කරන කලාකරුවෝ ඕන තරම් හිටියා. නමුත් ජාතික ජන බලවේග ආණ්ඩුව ආවාට පස්සේ ඒ සාහිත්‍ය අනුමණ්ඩලයට පත් කරපු අය ගත්තාට පස්සේ ඔවුන් සමාජය තුළ පිළිගැනීමක් ඇති කලාකරුවෝ හැටියට තමයි සමාජය තුළ අදහසක් තිබ්බේ. ඔවුන් තමයි සමාජ මතවාදය දැක්වූයේ, කලාවේ නිදහස ගැන. ඒ අයම මේ ආණ්ඩුව තුළට ගිහිල්ලා මේ ආකාරයෙන් තමන්ගේ හෙළුව ප්‍රදර්ශනය කිරීම ඉතාම කනගාටුදායක තත්ත්වයක්. ඉතින් මේක ඇත්තටම බරපතළ තත්ත්වයක්. අපි පැහැදිලිවම කියනවා මේ රටේ කලාකරුවන්ට මේ වගේ ආණ්ඩුවලට ගිහිල්ලා තමන්ගේ පුද්ගලිකත්වය වෙනුවෙන්, තමන්ගේ පැවැත්ම වෙනුවෙන් කටයුතු කරන්න එපා කියන කාරණාව අපි පැහැදිලිවම කියන්න කැමතියි."

රේගු අත්අඩංගුවේ රඳවාගෙන සිටින ප්‍රදීපන් දීපචෙල්වන්ගේ කෘති ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නිර්දේශවලට ගරු කරමින් වහාම නිදහස් කරන ලෙස දකුණේ සිංහල සිවිල් සමාජ ක්‍රියාධරයන් පිරිසක් ද බලධාරීන්ට දැඩිව අවධාරණය කර සිටී.

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...