සෙනෙගාලය 2025 අප්‍රිකානු ජාතීන්ගේ කුසලාන (2025 Africa Cup of Nations - Afcon) ජයග්‍රාහකයින් ලෙස යළිත් නම් කිරීමට ක්‍රීඩා බේරුම්කාර අධිකරණය (CAS) තීන්දු කර තිබෙනවා.
මේ උසාවි නියෝගයෙන් අවලංගු කෙරෙන්නේ ජනවාරි මාසයේදී සත්කාරක මොරොක්කෝවට එරෙහිව පැවති අවුල් සහගත අවසාන තරගයේදී සෙනෙගාලය දිනා ගත් කිරුළ අහෝසි කිරීමට ගෙන තිබූ තීරණය යි.
රබාට් අවසන් මහා තරගයේ මතභේදාත්මක සිදුවීම
රබාට් නුවර පැවති එම තරගයේ දෙපිලෙන්ම ගෝල වාර්තා නොවී තිබියදී තමන්ට එරෙහිව ලබා දුන් පෙනල්ටියකට විරෝධය දක්වමින් සෙනෙගාලය දෙවැනි භාගයේ අතිරේක කාලයේදී පිටියෙන් ඉවත්ව ගියා. මොරොක්කෝව එල්ල කළ පෙනල්ටි පහර සාර්ථකව වළක්වා ගැනීමට පෙර තරගය මිනිත්තු 15කින් ප්‍රමාද වුණා.
අනතුරුව සෙනෙගාලය අතිරේක කාලයෙන් පසුව ගෝල 1-0කින් තරගය ජයග්‍රහණය කළා.
ඒ ප්‍රතිඵලය මාස දෙකකට පමණ පසුව අප්‍රිකානු පාපන්දු සම්මේලනයේ (CAF) අභියාචන මණ්ඩලය විසින් ආපසු වෙනස් කරනු ලැබුවේ පෙනල්ටිය ලබා දීමෙන් පසුව පිටියෙන් ඉවත්ව යාමෙන් සෙනෙගාලය තරගාවලියේ නීති උල්ලංඝනය කර ඇති බවට තීරණය කරමින්.
ලෝසාන් නුවර ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලේ තීන්දුව
සෙනෙගාල පාපන්දු සම්මේලනය පසුව ක්‍රීඩාවේ ඉහළම අධිකාරිය වන ක්‍රීඩා බේරුම්කාර උසාවියට ඉදිරිපත් කළ ඇපෑල, කිසිවෙකුත් ඇතුළත් කර නොගත් ලෝසාන් (Lausanne) නුවර අධිකරණ ශාලාවකදී ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් ඉදිරියේ ඔක්තෝබර් 8 වැනිදා විභාග කෙරුණා.
එහිදී විනිසුරු මඬුල්ල ඒකමතික තීන්දුවක් දෙමින්, සෙනෙගාල කණ්ඩායම නැවත පිටියට පැමිණීමෙන් පසුව තරගය යළි ආරම්භ කිරීමට සහ තරගය අවසන් වනතුරු ක්‍රීඩා කරවීමට තරග විනිසුරු ගත් තීරණය පිළිගත්තා. ඒ අනුව අවසාන තරගයේ ප්‍රතිඵලය එලෙසම පවතින අතර සෙනෙගාලය Afcon 2025 ජයග්‍රාහකයින් ලෙස දැන් ස්ථිර කර තිබෙනවා.
සෙනෙගාලයේ ප්‍රීතිය සහ මොරොක්කෝවේ අභියෝගය
තීන්දුව ප්‍රකාශ වූ සැණින් සෙනෙගාලයේ පාපන්දු සම්මේලනය ඊට ප්‍රතිචාර දක්වමින් ඔවුන්ගේ කණ්ඩායම ජනවාරි මාසයේදී කුසලානය ඔසවා ගෙන සිටි ඡායාරූපයක් සමාජ මාධ්‍යයේ පෝස්ට් කළේ, “නැවත සහ හැමවිටම අප්‍රිකාවේ ශූරයෝ” යන කැප්ෂනයත් සමඟයි.
මේ අතර, නඩු තීන්දුව කෙරෙහි විස්මය පළ කරන මොරොක්කෝ පාපන්දු සම්මේලනය එම තීරණයට අභියෝග කළ හැකි සෑම නීති මාර්ගයකටම පිවිසෙන බවට අවධාරණය කරනවා.
(සටහන - වර්නන් ගුණසේකර)




