වයිභව් සූර්යවංශිගේ අලුත්ම වික්‍රමාන්විත පිතිහරඹය ඔහුගේ ළමාවියේ පුහුණුකරු මනිෂ් ඔජාට (Manish Ojha) එතරම් අරුමයක් නෙවෙයි. ක්‍රිකට් ක්‍රීඩාවේ මේ 15 හැවිරිදි ක්‍රීඩකයාගේ ආශ්චර්යමත් මතුවීම අධීක්ෂණය කළ මනිෂ් විසින් සූර්යවංශි ද්විත්ව ශතකයක් ලබා ගනු ඇති බවට අනාවැකි පළ කරනු ලැබුවේ මීට දෙවසරකට පෙරයි.
එහෙත් ඩෝහා නුවරදී ඊයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිව පැවති නැගී එන තරුවල ආසියානු කුසලාන තරගයේදී (Rising Stars Asia Cup) මේ නව යොවුන් වියේ පසුවන පිතිකරුවා පන්දු 53කින් පමණක් ලකුණු 204ක් රැස් කළ ආකාරය ඔහුගේ අසාමාන්‍ය හැකියාව පිළිබඳව විශ්වාස කළ අය පවා විස්මයට පත් කළා.
මේ අපූර්ව පිතිකරණයෙන් පසුව සූර්යවංශිගේ ඉහළම සීමාව කුමක්දැයි පුහුණුකරුවා කල්පනා කරනවා:
“දවසක ඔහු ත්‍රිත්ව ශතකයක් වුණත් ලබා ගනීවි කියලා මම ඇත්තටම විශ්වාස කරනවා” යනුවෙන් මනිෂ් කියනවා.
“අද (අඟහරුවාදා) ඔහුගේ පිතිහරඹය අසාමාන්‍ය වූ පැකේජයක්. එය ආක්‍රමණශීලීයි, විනෝදජනකයි, අතිවිශිෂ්ටයි.”
පන්දු 52කින් බිහි වූ වේගවත්ම ද්විත්ව ශතකයේ ලෝක වාර්තාව
සීමිත ඕවර 50 ක්‍රිකට් ක්‍රීඩාවේ වේගවත්ම ද්විත්ව ශතකයේ ලෝක වාර්තාව සූර්යවංශි බිඳ දැමුවේ ඒ කඩඉමට පන්දු 52කින් පමණක් පිවිසෙමින් හා කලින් තිබූ වාර්තාවට වඩා පන්දු 51ක වේගයකින්. මීට කලින් වාර්තාව නවසිලන්තයේ චෑඩ් බෝස් (Chad Bowes) 2024 වසරේදී පිහිටුවා තිබුණේ පන්දු 103කින් ද්විත්ව ශතකයක් ලබා ගනිමින්.
එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායමට එරෙහි දැඩි ප්‍රහාරයේදී සූර්යවංශි පන්දු 28කට පමණක් මුහුණ දෙමින් ඔහුගේ ශතකය සටහන් කළේ ‘ඒ’ ලැයිස්තුවේ (List A) ක්‍රිකට් ක්‍රීඩාවේ වේගවත්ම ශතකය සඳහා නව ලෝක වාර්තාවක් බිහි කරමින්. හයේ පහර 28ක් එල්ල කළ ඔහු ‘ඒ’ ලැයිස්තුවේ ඉනිමක වැඩිම හයේ පහර සටහන් කළ පිතිකරුවා බවට පත්වුණා.
ඔහු මුහුණ දුන් පන්දු 53න් 35කදීම පන්දුව හතරේ සීමාවෙන් පිටතට යැවුණා. ඔහුගේ මේ ආක්‍රමණයෙන් ඉන්දියා ‘ඒ’ කණ්ඩායම ඕවර 14.3කින් ලකුණු 250ක වාර්තාගත හඹා යාමක් සම්පූර්ණ කළා.
“එක අතකින් ඔහු අපි එක්දින ක්‍රිකට් ක්‍රීඩාව දෙස බලන විදිය යළි නිර්වචනය කරනවා. මේ වගේ තීව්‍රතාවකින් ලකුණු රැස් කරමින් ඕවර 14ක් හෝ 15කින් තරගයක් දිනන්න පුළුවන් නම්, මේ වගේම ආක්‍රමණශීලී සිතිවිලි රටාවකින් කණ්ඩායමක් ලකුණු රැස් කළොත් ඕවර 50කදී අත්කර ගත හැකි සාර්ථකත්වය කුමක් වේවිදැයි හිතලා බලන්න” යැයි සූර්යවංශිගේ පුහුණුකරු පවසනවා.
IPL සහ දේශීය පිටියේ නොනවතින වාර්තා දඩයම
වාර්තා බිඳ දැමීම සූර්යවංශිට පුරුද්දක් බවට වේගයෙන් පත්වෙමින් තිබෙනවා. ඔහු ඔහුගේ මංගල අයි.පී.එල්. (IPL) තරග වාරයේදී පන්දු 36කින් ශතකයක් ලබා ගත්තේ ඉන්දීය පිතිකරුවෙකුගේ වේගවත්ම IPL ශතකය සටහන් කරමින්. ඔහු 2026 තරග වාරය ලකුණු 776කින් අවසන් කළේ තැඹිලි පාට කැප් තොප්පිය (Orange Cap) ජය ගනිමින්. මේ ළාබාල පිතිකරුවා අයි.පී.එල්. තරග වාරයකදී එල්ල කළ හයේ පහර 65 ඔහුව ක්‍රිස් ගේල්ගේ හයේ පහර 59 වාර්තාව පසුකර රැගෙන ගියා.
සූර්යවංශිගේ හපන්කම් අයි.පී.එල්. තරග බිමට පමණක් සීමාවී නැහැ. පසුගිය දෙසැම්බරයේදී ඔහු ඉන්දියාවේ දේශීය එක්දින තරගාවලිය වන විජේ හසාරේ කුසලාන තරගයකදී පන්දු 84කින් ලකුණු 190ක් රැස් කළා. මේ වසර මුලදී ඔහු වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන අවසාන තරගය එක් පැත්තකට පමණක් සීමා වූ ගැටුමක් බවට පත් කරමින් එංගලන්තයට එරෙහිව පන්දු 80කින් ලකුණු 175ක් ලබා ගත්තා.
“මේ වාර්තා බිඳ දමන්න පුළුවන් වෙනත් කිසිම ක්‍රීඩකයෙක්ව මට මේ වෙලාවේ නම් පෙනෙන්නට නැහැ. ඒවා බිඳ දාන්න නම්, සමහර විට ක්‍රිස් ගේල්ට ආපහු එන්න වේවි. වයිභව්ගේ වාර්තා බිඳින්නේ වයිභව්ම විතරයි!” මනිෂ් ඔජා සඳහන් කරනවා.
(සටහන -වර්නන් ගුණසේකර)




