පාස්කු ඉරුදින ප්‍රහාර මාලාව පිළිබඳ විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සැකකරුවෙකු ලෙස නම් කරන්නේද නැද්ද යන්න පිළිබඳව කඩිනමින් විමර්ශනය කර අධිකරණයට කරුණු දක්වන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (25) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.
මෙම නඩුවට අදාළව හිටපු ජනාධිපතිවරයාට පනවා ඇති විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන ලෙස කළ ඉල්ලීම ද මහේස්ත්‍රාත්වරයා විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීය.
වෛද්‍ය වාර්තා සහ රිට් පෙත්සම හමුවේ ගමන් තහනම දිගටම
2019 මැයි මාසයේ සිංගප්පූරුවේදී සිදුකළ බයිපාස් සැත්කමට අදාළ පසු වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා විදෙස්ගත වීමට අවසර දෙන ලෙස හිටපු ජනාධිපතිවරයාගේ නීතිඥවරුන් ඉකුත් ඔක්තෝබර් 28 වනදා මෝසමක් මගින් ඉල්ලා තිබුණි.
එහෙත්, ඉදිරිපත් කළ සිංගප්පූරු රෝහලේ වෛද්‍ය සී. ස්වනාදන්ගේ වාර්තාවට අනුව ඔහු සිංගප්පූරුවේ රැඳී සිටින්නේ ජූනි 04 සිට ජූනි 28 දක්වා පමණක් බව නියෝගයේ සඳහන් විය.
200කට අධික පිරිසකට දිවි අහිමි කරමින් සහ 500කට වැඩි පිරිසකට තුවාල සිදුකළ මෙම ප්‍රහාරය පිළිබඳ විමර්ශන අතිශය සංවේදී බව මහේස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නේය. තමාව අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලා ගෝඨාභය රාජපක්ෂ ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනුකර ඇති රිට් පෙත්සමේ තීන්දුව තවමත් ප්‍රකාශයට පත්ව නොමැති පසුබිමක, විදෙස් ගමන් තහනම ඉවත් කිරීම විමර්ශනවලට බාධාවක් විය හැකි බව අධිකරණයේ ස්ථාවරය විය.
"ප්‍රකාශ 95ක් දුන්නා, ඒත් මුරපද මතක නෑ" - නීතිපති දෙපාර්තමේන්තුව
මෙම නඩුවේ තුන්වන සැකකරු ලෙස රැඳවුම් භාරයේ පසුවන හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ සම්බන්ධයෙන් මහාචාර්යවරුන් දෙදෙනෙකු ඇතුළු විශේෂඥ වෛද්‍යවරුන් තිදෙනෙකු සැකසූ පිටු 311ක (ඡේද 1,185ක) මනෝ වෛද්‍ය වාර්තාවක් අද අධිකරණයට ඉදිරිපත් විය.
නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ, අධිකරණ ක්ෂේත්‍රයේ මෙතෙක් හමුවූ විශාලතම මනෝ වෛද්‍ය වාර්තාව මෙය බවයි.
"පිටු 95ක ප්‍රකාශයක් දෙන්න හොඳ මානසිකත්වයක් තිබුණා. නමුත් තාම දුරකථන මුරපද (Passwords) මතක නැහැ. විමර්ශනය නැවැත්වීම තමයි අරමුණ. අසාද් මවුලානා සමඟ කිසිදු සබඳතාවක් නොතිබූ බවට ඔහු ප්‍රකාශ දී තිබුණත්, විමර්ශනවලදී ඊට පටහැනි කරුණු අනාවරණය වී තිබෙනවා," යැයි අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දන්වා සිටියේය.
ජීවිත තර්ජන නිසා ප්‍රකාශ දීම ප්‍රතික්ෂේප කළ විත්තිකරුවන්
පාස්කු ප්‍රහාරයේ මහ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කළ අවස්ථාවේදී, ඊට තවත් පුද්ගලයින් සම්බන්ධ බවට විත්තිකරුවන් දෙදෙනෙකු විත්තිවාචකයේදී ප්‍රකාශ කර තිබූ බව අතිරේක සොලිසිටර් ජනරාල්වරයා සිහිපත් කළේය.
ඒ පිළිබඳව ප්‍රකාශ සටහන් කරගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බන්ධනාගාරයට ගියද, තම පවුල්වල සාමාජිකයින්ට ජීවිත තර්ජන එල්ල විය හැකි බව පවසමින් ඔවුන් ප්‍රකාශ ලබාදීම ප්‍රතික්ෂේප කර තිබේ.
සෙසු සැකකරුවන් ලබන 9 තෙක් රිමාන්ඩ්
මේ අතර, සිද්ධියට අදාළ පළමු සහ දෙවන සැකකරුවන් වන වව්නතිව් යුද හමුදා කඳවුරට අනුයුක්තව සේවය කළ යාසිම් බාවා ජෙගිල්පාස් සහ සරත් සමන්ත යන බුද්ධි නිලධාරීන් දෙදෙනා ලබන මස 9 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.



