අවුරුදු දෙකක නීතිමය සටන නිමාවෙයි
පෞද්ගලික රෝහලක දෝෂ සහිත උපකරණයක් නිසා අලුත උපන් බිළිඳෙකු මුහුණ දුන් අත්දැකීමක් මුල්කරගෙන නීතිඥවරයෙකු ගෙන ගිය දෙවසරක නීතිමය සටන අවසන් වූයේ පාරිභෝගික අයිතිවාසිකම් සුරැකෙන වැදගත් පූර්වාදර්ශයක් සනිටුහන් කරමිනි.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය (CAA) හමුවේ විභාග වූ මෙම නඩුවේදී කොළඹ නයින්වෙල්ස් පෞද්ගලික රෝහලට නියෝග කෙරුණේ පැමිණිලිකාර නීතිඥ භානුක මලවිරච්චි වෙත රුපියල් 45,900ක වන්දි මුදලක් ගෙවන ලෙසයි.
තරාදි දෙකක සටහන් වූ බරෙහි පරතරය
සිද්ධිය ආරම්භ වන්නේ 2024 වසරේ ජූනි මාසයේදී දින දහයක් වයසැති බිළිඳා සායනික පරීක්ෂාවකට ලක් කළ අවස්ථාවේදීය. නයින්වෙල්ස් රෝහලේ විද්‍යුත් තරාදියක දරුවාගේ බර සටහන් වූයේ කිලෝග්‍රෑම් 2.48ක් වශයෙනි. උපතින් පසු දරුවාගේ බර අසාමාන්‍ය ලෙස අඩුවී ඇතැයි සැක කළ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයා, බිලිරුබින් ඇතුළු රසායනාගාර පරීක්ෂණ දෙකක් සහ ප්‍රතිකාර නියම කළේය.
වෛද්‍ය නිර්දේශය පිළිබඳ සැක මතු කළ දෙමාපියන්, එදිනම දරුවා කිංග්ස් රෝහල වෙත රැගෙන ගොස් වෙනත් තරාදි දෙකකින් බර පරීක්ෂා කර තිබේ. එහිදී බිළිඳාගේ සැබෑ බර කිලෝග්‍රෑම් 2.675ක් ලෙස සටහන් වීමත් සමඟ, පළමු රෝහලේ උපකරණ දෝෂය සහ අනවශ්‍ය වෛද්‍ය වියදම් පෙන්වා දෙමින් නීතිඥවරයා පාරිභෝගික අධිකාරියට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
සාක්ෂි, රාජ්‍ය විමර්ශන සහ රෝහලේ ස්ථාවරය
පැමිණිලිකාර පාර්ශ්වය විසින් ඉදිරිපත් කළ දුරකථන සංවාද පටිගත කිරීමකදී, රෝහලේ තරාදි ආශ්රිත මෙවැනි ගැටලු මීට පෙරද වාර්තා වී ඇති බවට අදාළ වෛද්‍යවරයා පිළිගෙන තිබූ බව නඩු වාර්තාවල දැක්වේ. මිනුම් ඒකක, ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුව 2024 අගෝස්තු මාසයේදී සිදු කළ හදිසි පරීක්ෂාවකදීද ක්‍රියා විරහිත තත්ත්වයේ පැවති තරාදියක් වෛද්‍ය කාමරයක තිබී හමුවී තිබිණි.
මීට අමතරව, සිසේරියන් සැත්කමට පෙර සිය ගැබිණි බිරිඳට ලියාපදිංචි කවුන්ටරය අසල ප්ලාස්ටික් පුටුවක පැය දෙකකට වැඩි කාලයක් රැඳී සිටීමට සිදුවීම සහ නේවාසික කාමර නිසි පරිදි පිරිසිදු නොකිරීම පිළිබඳවද පැමිණිල්ලේ කරුණු දක්වා තිබුණි. නීතිමය වගකීම බැහැර කළ රෝහල් කළමනාකාරිත්වය, කාමර නඩත්තුවේ පෞද්ගලික අතපසුවීම් පිළිගනිමින් ආලින්දයේ ආසන පහසුකම් සංශෝධනය කිරීමට පියවර ගන්නා බව සඳහන් කළේය.
පාරිභෝගික අයිතිවාසිකම් වෙනුවෙන් ලැබුණු තීන්දුව
2003 අංක 09 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනතේ 32 වැනි වගන්තිය යටතේ විමර්ශනය මෙහෙයවූ අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන්, 2026 සැප්තැම්බර් 07 දිනැති නියෝගය මගින් දින 30ක් ඇතුළත වන්දි ගෙවන ලෙස රෝහලට නියම කළේය.
අදාළ වන්දි මුදල මේ වන විට ලැබී ඇති බවත්, එය පිළිකා රෝහල් අරමුදලකට හෝ ග්‍රාමීය රෝහලකට පරිත්‍යාග කරන බවත් නීතිඥ භානුක මලවිරච්චි සඳහන් කළේය. සෞඛ්‍ය ක්ෂේත්රයේ සේවා ලබන පාරිභෝගිකයින් තමන්ට සිදුවන මෙවැනි අසාධාරණයන්ට එරෙහිව නැගී සිටීමට මෙම නීතිමය ක්‍රියාමාර්ගය දිරිගැන්වීමක් වනු ඇති බව ඔහුගේ අදහසයි.
නියෝගයක් පැතීම සදහා පැමිණිලිකරු විසින් ගොනු කරනු ලබන ලිඛිත දේශනය (387 KB)














