ගිනි අවි සහ මදු මැද කලාවැව සෝදිසියක්
ශ්‍රී ලංකාවේ වනාන්තර ආශ්‍රිතව අලි-මිනිස් ගැටුම උග්‍ර වෙමින් පවතින පසුබිමක, වන සතුන්ගේ පැවැත්ම සුරැකීම ඉලක්ක කරගත් සුවිශේෂී ක්ෂේත්‍ර මෙහෙයුමක් ආරම්භ වී තිබේ.
‘හස්ති සේනා’ ලෙස නම් කර ඇති මෙම ඒකාබද්ධ මෙහෙයුම ක්‍රියාවට නැංවුණේ වයඹ වනජීවී කලාපයට අයත් කලාවැව ජලාශය ආශ්‍රිත රක්ෂිත භූමිය කේන්ද්‍ර කරගනිමිනි.
පරිසර අමාත්‍යාංශය, ශ්‍රී ලංකා යුද හමුදාව සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඒකාබද්ධව සිදුකළ මෙම වැටලීමේදී වනජීවී ඝාතනය සඳහා සූදානම් කර තිබූ අනවසර ගිනි අවි, මදු, හක්කපටස් සහ ජීව පතොරම් රැසක් නිලධාරීන් භාරයට ගෙන ඇති බව වාර්තා වේ.
හමුදා බලඇණි 10ක් අඟලෙන් අඟල පීරා බැලූ හැටි
පරිසර අමාත්‍ය ධම්මික පටබැඳිගේ සෘජු නිරීක්ෂණය යටතේ දියත් වූ මෙම මෙහෙයුමට යුද හමුදා සාමාජිකයන් 60 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් එක්ව සිටියහ.
21 වන සේනාංකයේ මේජර් ජෙනරාල් කමින්ද සිල්වා, 212 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් බස්නායක, ලුතිනන් කර්නල් අබේවික්‍රම මෙන්ම වයඹ පළාත් වනජීවී අධ්‍යක්ෂ පුෂ්පන්ත විමලදාස සහ පරිසර අමාත්‍යාංශයේ උපදේශක රවින්ද කාරියවසම් යන නිලධාරීන් මෙහි මෙහෙයුම් නායකත්වය ගෙන තිබිණි.
කණ්ඩායම් හයක් යටතේ ක්ෂේත්‍ර මෙහෙයුම් කණ්ඩායම් 10ක් ලෙස බෙදී ගිය මෙම පිරිස, වන අලි නිරන්තරයෙන් සැරිසරන සංවේදී ලඳු කැලෑ සහ ජලාශ ඉවුරු දැඩි පරීක්ෂාවකට ලක් කළහ.
වනසත්ත්ව ආඥාපනත යටතේ නීතිය අකුරටම
සොයාගත් නීතිවිරෝධී නඩු භාණ්ඩ සහ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සම්බන්ධයෙන් වනසත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනතේ විධිවිධාන ප්‍රකාරව ඉදිරි නීතිමය පියවර ගැනීම සඳහා කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණය වෙත යොමු කෙරේ.
වන අලි ඝාතනයට තුඩුදෙන අනවසර විදුලි රැහැන් ඇදීම, හක්කපටස් ඇටවීම සහ සතුන් දඩයම් කිරීමේ මදු දැමීම වැළැක්වීම සඳහා මෙවැනි දැඩි ක්ෂේත්‍ර මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව පරිසර අමාත්‍යාංශ ආරංචි මාර්ග පෙන්වා දෙයි.



