The Leader News
BREAKING
සජිත්ගෙන් තිරසර වනඅලි සංරක්ෂණ වැඩපිළිවෙළකට මුල පිරේද?●අර්නබ් සුළි කුණාටුවෙන් ඔඩිෂා ගොවිබිම් අක්කර තුන්දහසක් යටවෙයි●ෆ්ලොරිඩා ගුවන් අනතුර: ලියර්ජෙට් යානය කඩා වැටුණේ ගුවනේදී කැඩී යාමෙන්ද?●වතු ඉඩම් බදු දීමෙන් මලයහ ජනතාවට උන්හිටි තැන් අහිමිවීමේ බියක්●කාන්තාවකට පහරදුන් පොලිස් කොස්තාපල්ට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වන්දි නියෝගයක්●ඩොලර් බිලියන 3ක ජාත්‍යන්තර බැඳුම්කර අභියෝගය●කොළඹ ඩොලර් බිලියන කැසිනෝ සළෙලබිමේ කළු සල්ලි උගුල●වාහන ආනයන උන්මාදය හමුවේ මතුවන බරපතළ ආර්ථික අභියෝගය●Diginote | ඉන්ධන මිල ඉහළට: ආර්ථිකය යළිත් අවදානමක●අලුත් පනත් සහ ගොවි අර්බුදය ගැන විපක්ෂයෙන් අනතුරු ඇඟවීමක්●
Top Ad
පුවත්

වතු ඉඩම් බදු දීමෙන් මලයහ ජනතාවට උන්හිටි තැන් අහිමිවීමේ බියක්

Awara

Awara

November 3, 2026 • 10:39 AM

වතු ඉඩම් බදු දීමෙන් මලයහ ජනතාවට උන්හිටි තැන් අහිමිවීමේ බියක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ආදායම් නොලබන වැවිලි ක්ෂේත්‍රයේ ඉඩම් හා දේපළ ආයෝජකයන්ට බදු දීමට රජය පියවර ගැනීම නිසා තේ වතු තුල මෙතෙක් කලක් ජීවත් වු මලයහ ජනතාවට උන් හිටි තැන් අහිමිවීමේ අවදානමක් ගැන දෙමළ ජනතා නියෝජිතයකු අනතුරු අඟවා තිබේ.
  • වසර 200 කට අධික කාලයක් සිට මෙරටට විදේශ විනිමය උපයා දීම සදහා දහඩිය මුගුරු වගුරුවමින් සිටින මලයහ ජනතාව පදිංචිය සඳහා ඉල්ලා සිටින මුඩු ඉඩම් ඔවුන්ට නොදී සංචාරක කර්මාන්තය ඇතුළු වෙනත් ආයෝජන සඳහා බෙදා දීම ගැන හිටපු මන්ත්‍රීවරයා කම්පාව පළකරයි.
  • සිංහල බෞද්ධ වීරයකු වන අනගාරික ධර්මපාල දර්ශනය වතුකරයේ ක්‍රියාත්මක කරන බවටද ආණ්ඩුව මලයග නායකයාගේ චෝදනාවට ලක්ව සිටී.
  • රජය නිවේදනය කර ඇත්තේ, ඒ අනුව පළමු අදියර යටතේ ඉඩම් හෙක්ටයාර 1,514ක්, සංචාරක බංගලා සහ සුන්දර ස්ථාන 10ක් හා අක්‍රිය කර්මාන්තශාලා 15ක් සඳහා අභිලාෂ ප්‍රකාශ කිරීම් කැඳවා ඇති අතර, ඒ සඳහා උනන්දුවක් දක්වන ආයෝජකයන් 470 ක් කැමැත්ත පල කර තිබෙන බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):

ආදායම් නොලබන වැවිලි ක්ෂේත්‍රයේ ඉඩම් හා දේපළ ආයෝජකයන්ට බදු දීමට රජය පියවර ගැනීම නිසා තේ වතු තුල මෙතෙක් කලක් ජීවත් වු මලයහ ජනතාවට උන් හිටි තැන් අහිමිවීමේ අවදානමක් ගැන දෙමළ ජනතා නියෝජිතයකු අනතුරු අඟවා තිබේ.

 වසර 200 කට අධික කාලයක් සිට මෙරටට විදේශ විනිමය උපයා දීම සදහා දහඩිය මුගුරු වගුරුවමින් සිටින මලයහ ජනතාව පදිංචිය සඳහා ඉල්ලා සිටින මුඩු ඉඩම් ඔවුන්ට නොදී සංචාරක කර්මාන්තය ඇතුළු වෙනත් ආයෝජන සඳහා බෙදා දීම ගැන හිටපු මන්ත්‍රීවරයා කම්පාව පළකරයි.

සිංහල බෞද්ධ වීරයකු වන අනගාරික ධර්මපාල දර්ශනය වතුකරයේ ක්‍රියාත්මක කරන බවටද ආණ්ඩුව මලයග නායකයාගේ චෝදනාවට ලක්ව සිටී.  

කැබිනට් අනුමැතිය ලද වතු බදු දීමේ සැලැස්ම

 2026 ඔක්තෝබර් 26 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණ මගින් රජය නිවේදනය කර තිබුනේ ඉහළ මට්ටමේ ප්‍රසම්පාදන කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශ මත පදනම්ව, ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව, ජනතා වතු සංවර්ධන මණ්ඩලය සහ ඇල්කඩුව වැවිලි සමාගම සතු ඉඩම් හා දේපළ 15ක් තෝරා ගත් ආයෝජකයන් වෙත දීර්ඝකාලීන බදු පදනම මත ලබා දීම පිණිස වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කළ බවයි.

ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව, ජනතා වතු සංවර්ධන මණ්ඩලය සහ ඇල්කඩුව වැවිලි සමාගම යන ආයතන විසින් කළමනාකරණය කරනු ලබන ඌන උපයෝජිත ඉඩම් හා දේපළ ප්‍රශස්ත උපයෝජනය සඳහා සුදුසු ආයෝජකයන් වෙත බදු පදනම මත ලබා දීම පිණිස උනන්දුවක් දක්වන ආයෝජකයන් වෙතින් අභිලාෂ ප්‍රකාශ කිරීම් කැඳවීම සඳහා මින් පෙර අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දී ඇත.  

 රජය නිවේදනය කර ඇත්තේ,  ඒ අනුව පළමු අදියර යටතේ ඉඩම් හෙක්ටයාර 1,514ක්, සංචාරක බංගලා සහ සුන්දර ස්ථාන 10ක් හා අක්‍රිය කර්මාන්තශාලා 15ක් සඳහා අභිලාෂ ප්‍රකාශ කිරීම් කැඳවා ඇති අතර, ඒ සඳහා උනන්දුවක් දක්වන ආයෝජකයන් 470 ක් කැමැත්ත පල කර තිබෙන බවයි.

 ඉන් අනතුරුව, කෙටි ලැයිස්තුගත කරන ලද ආයෝජකයන් වෙතින් යෝජනා සඳහා ඉල්ලීම් කැඳවා ඇති අතර, ඉඩම් හා දේපළ කොටස් 30කට අදාළව යෝජනා සඳහා වන ඉල්ලීම් 44ක් ලැබීමෙන් පසු  එකී යෝජනා ඇගයීමෙන් අනතුරුව කැබිනට් මණ්ඩලය ඉහත තීරණය ගත් බව රජය නිවේදනය කර තිබේ.

මහා පරිමාණ වතු කුඩා කිරීමේ සූක්ෂ්ම ක්‍රියාවලිය

මලයහ දෙමළ ජනතා නියෝජිතයකු වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මයිල්වාගනම් තිලකරාජා පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍යයෙන් නිදහස ලබා ගැනීමෙන් පසු  රාජ්‍ය විසින් මෙරට  මහා පරිමාන තේ වතු කුඩා තේ වතු බවට පත් කිරීම සැලසුම් සහගතව ක්‍රියාත්මක කළ බවයි.  

"ශ්‍රී ලංකාව නිදහස ලැබුවාට පස්සේ බ්‍රිතාන්‍යයන්ගෙන් ඉඩම් ලබා ගත්ත දවසේ ඉඳන් ශ්‍රී ලංකා රාජ්‍ය, ආණ්ඩුව එක ක්‍රියාවක් ඉතා සූක්ෂමව සිදු කරනවා. ඒ මොකක්ද කිව්වොත් මහපරිමාණ තේ වතුවලින් කුඩා තේ වතු බිහි කිරීම ඉතා සූක්ෂමව සිදු කරගෙන ඇවිත් තියෙනවා. 1948ත් 1972ත් අතර කාලයේදී සියයට 20ක්. ඊට පස්සේ 1972ත් 1992ත් අතර තවත් අතිරේකව සියයට 25ක් විදිහට ආසන්න වශයෙන් සියයට 50ක් 1992 අවුරුද්ද වෙද්දී වුණා. සියයට 78ක් කුඩා තේ වතු විදිහටත්, සියයට 22ක් මහපරිමාණ තේ වතු විදිහටත් තමයි දැනට අනුපාතය තියෙන්නේ."

මලෛයග අරසියල් අරංගම් (MPA) පක්ෂයේ ප්‍රධාන ලේකම් තිලකරාජා හිටපු මන්ත්‍රීවරයා  පෙන්වා දෙන්නේ රජය සතුව පවතින සියයට දෙකක් පමණ වන කුඩා තේ වතු ප්‍රමාණයද පෞද්ගලික ආයෝජන නමින් කොම්පැණිවලට ලබා දීම හරහා ඒවා තවදුරටත් තේ වතු ලෙස ඉදිරියට නොපවතිනු ඇති බවයි.

"සියයට 22ක් වුණ කුඩා තේ වතුවලින් සියයට දෙකකටත් වඩා අඩු ගාණක් තමයි රජය අතෙත්, ඉතුරු ටික ආර්.ටී.සී කොම්පැණි අතේ තමයි තියෙන්නේ. ඒ ඉතුරු සියයට දෙක කොම්පැණිවලට දෙන්න උත්සහ කරනවා පෞද්ගලික ආයෝජන කියන නමින්. ඒකත් එක්තරා විදිහකට කුඩා තේ වතු තමයි, ඒත් කුඩා තේ වතු නැතිව එයාලා වෙනත් උත්සාහයකට තමයි දෙන්නේ. මීට පස්සෙත් ඒවා තේ වතු විදිහට තියෙන්නේ නැති වෙයි."

වතු කම්කරු ජනතාවගේ මූලික පැවැත්මට එල්ල වන තර්ජනය

මෙරට තුල තමන්ටම කියා නිවසක් ඉදිකරගැනීමට මේ දක්වාම ඉඩම් කැබැල්ලක් නොමැති වතු කම්කරු ජනතාව හිමිකාරිත්වයකින් තොරව තවමත් ජීවත් වන්නේ මහා පරිමාණ ඉඩම් හිමියන්ගේ තේ වතු තුල ඉදිකර තිබෙන කුඩා නිවාස පේලිවලය.

වැවිලි ක්ෂේත්‍රයේ මේ වන විට භාවිතයට නොගන්නා ඉඩම් හා දේපළ ආයෝජකයන් වෙත බදු පදනම ලබා දීම මගින් තවත් වසර දහයකින් තේවතු නැතිව යනු ඇති බවට අනතුරු අඟවන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිලකරාජා වසර ගණනාවක් තිස්සේ  ජීවත් වන ප්‍රජාවට උන් හිටි තැන් අහිමිව යනු ඇති බවයි පවසන්නේ.

"අඩුම තරමින් එයාලාගේ පදිංචිය තහවුරු වුණේ, ඒකේ වැඩ කරන ස්ථිර සේවකයන් විදිහට. විධිමත්, නීතිවලට යටත්ව සේවක අර්ථ සාධක අරමුදලට දායක වුණ රැකියා මට්ටමක හිටියා. දැන් ඒකටත් අනතුරක් මතු වෙලා තියෙනවා. එහෙම නම් එයාලාට අඩිතාලම වෙලා තිබුණ ශ්‍රමදායකත්වය කියන ආර්ථික ක්‍රියාවලට අත තියලා තියෙනවා. එයාලා හිටිය ඉඩම් ලබා දෙන්නේ නැහැ කියන නිසා තමයි මම කියන්නේ. තවත් අවුරුදු 10කින් මේ වතු ක්ෂේත්‍රය තියෙන්නේ නැහැ. ඒකේ තමයි මේ ප්‍රජාවේ පැවැත්ම තිබුණේ. මෙහෙ කම්කරුවන් තමයි මූල ප්‍රජාව කියලා මම නිතරම කියනවා. දැන් මුලට අත තියලා තියෙනවා."

ධර්මපාල දර්ශනය සහ ආණ්ඩු ගෙනගිය දේශපාලන ක්‍රියාවලිය

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මයිල්වාගනම් තිලකරාජා චෝදනා කරන පරිදි වසර 100 ක් ඇතුලත මෙරට වතුකරය නැති කර දැමීම සදහා වු අනගාරික ධර්මපාල දර්ශනය ජනාධිපතිවරයා ඉතා වේගයෙන් ක්‍රියාත්මක කරමින් සිටී.

"1948 ඉඳන් 2048 අවුරුද්ද වෙද්දී මහා පරිමාණ වතු බින්දුවක් කරන එකයි දර්ශනය. ඒක ප්‍රතිපත්තියක් විදිහට අරගෙන ඒක කළා. අපි කියපු ප්‍රතිපත්තිය, මේ දර්ශන කාගේද කියලා දන්නවා ද? ඒක අනගාරික ධර්මපාලගේ දර්ශනයක්. ඒ කියන්නේ පිටස්තරයින් අරන් ආපු ආයෝජන පිටස්තරයින්ගේ ශ්‍රමය මේකෙන් මහපරිමාණ වතු ආර්ථිකය නිසා පිටස්තරයින් අපේ රටට ඇතුළු වුණා ඒ නිසා මහපරිමාණ වතු නැති කරලා ඒවා අපි අත්පත් කරගන්න ඕනේ කියන එකයි එයාගේ මතවාදය, දර්ශනය."  

පැවැති සියළු ආණ්ඩු විසින් එම දර්ශනය ක්‍රියාත්මක කළ බව පෙන්වා දෙන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මයිල්වාගනම් තිලකරාජා වැඩි දුරටත් චෝදනා කරන්නේ වත්මන් ආණ්ඩුව රනිල් වික්‍රමසිංහ පාලනය යටතේ දියත් කළ එම වැඩ පිළිවෙල කඩිනම් කර ඇති බවටයි.

 "හැම පක්ෂයක් අනගාරික ධර්මපාලගේ මේ දර්ශනය ඉතා පරිස්සමින් ලං කරගත්තා. බලයට ආපු ගමන් මේවා එළියට ආවා. එක්සත් ජාතික පක්ෂය බලයට ආපු ගමන් පුරවැසිභාවය නැති කරලා මේක පෙන්නුම් කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බලයට ආවාම සිරිමා - ශාස්ත්‍රි ගිවිසුමෙන් මෙයාලාව පිටුවහල් කරලා පෙන්නුම් කළා. ආයෙත් මේ දෙගොල්ලෝම පාලනය කරද්දී බලහත්කාරයෙන් පවුල් සැලැසුම්කරණයෙන් මේක කළා. ජනතා විමුක්ති පෙරමුණ බලයට එන්නේ නැතිව තමන් විමුක්ති සංවිධානයක් විදිහට කටයුතු කරන කාලයේදී ඉන්දීය ව්‍යාප්තවාදයේ කොටසක් ලෙස හඳුන්වමින් – මේ කියන්නේ අනගාරික ධර්මපාලගේ අදහසම වෙනත් නමකින් ඉදිරිපත් කරලා, වතු පාඩුවට ලක් කිරීමෙන් මෙයාලාගේ ආර්ථිකය විනාශ කරන එකෙන් මෙයාලාව විකල ප්‍රජාවක් කරන්න ඕනේ කියලා 89,90 කර්මාන්ත ශාලා ගිනි තිබ්බා. දැන් බලයට ආවාට පස්සේ අනිත් පාර්ශ්ව 2048දී කරන්න ඕනේ කියලා හිතපු දෙය 2034, 2038දී ඒ කියන්නේ අවුරුදු 10ක් 15කට කලින්ම කරන්න ඕනේ කියලා ඉතා වේගයෙන් කටයුතු කරගෙන යනවා. "

විජේවීරගේ සිට අනුර දක්වා දිවෙන මතවාදී භාවිතය

ශ්‍රී ලංකාවේ නිදහස් සටන, බුදුදහමේ පුනර්ජීවනය සහ සමාජ සංස්කෘතික ප්‍රබෝධය වෙනුවෙන් ඉටුකළ  සුවිශේෂී මෙහෙවර හේතුවෙන් සිංහල ජනතාව අතර ජාතික වීරයෙක් බවට පත් වු  අනගාරික ධර්මපාල තුමාගේ සිද්ධාන්තය ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර භාවිත කළා සේම අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ඔවුන් දෙදෙනාගේ එම  සිද්ධාන්තය ඔවුනට වඩා වේගයෙන් ඉටු කරමින් සිටින බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මයිල්වාගනම් තිලකරාජා පවසන්නේ.

"ඒකෙන් එකක් තමයි ආයෝජනය කියන නමින් රජයේ වතු දෙන එකයි. දෙවැනි එක කඳුරට ආරක්ෂා කරන්න ඕනේ පස් ආරක්ෂා කරන්න ඕනේ කඳු ආරක්ෂා කරන්න ඕනේ කියලා සභා පිහිටුවන එක. රෝහණ විජේවීර අනගාරික ධර්මපාලයේ සිද්ධාන්තය භාවිත කළා වගේ අනුර කුමාර දිසානායක මේ දෙන්නාගේ සිද්ධාන්තය ඒ දෙන්නාට වඩා වේගයෙන් කරගෙන යනවා."

ඉඩම් අයිතිය පිළිබඳ නොවිසඳුණු පොරොන්දු

රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම සදහා සියවස් දෙකකට අධික කාලයක සිට දහඩිය මුගුරු වගුරන මලයහ ජනතාවගේ ඉඩම් අයිතිය තහවුරු කරදෙන බවට දිගින් දිගටම පොරොන්දු දුන් ජාතික ජනබලවේග රජය එම ජනතාව යළිත් වරක් රැවටීමකට ලක් කර ඇති බවට පසුගිය සමයේ දී  වත්මන් රජයට දිගින් දිගටම චෝදනා එල්ල වී තිබුනි.

 නුවර එළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොන්ඩමන් 2026 සැප්තැම්බර් 10 වැනිදා පාර්ලිමේන්තුව හමුවේ පෙන්වා දී තිබුනේ  පූනාගල, කබරගල නායයෑමෙන් නිවාස අහිමි වූ පවුල් 50ක් වෙනුවෙන් ඉදිකළ “නවෝදයාගම” නිවාස ව්‍යාපෘතියේ හිමිකරුවන්ට එම ඉඩමේ අයිතිය සහිත ඔප්පුවක් රජය විසින්  පිරිනමා නැති බවයි.

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

#theleader.lk#theleadernews
The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...