The Leader News
BREAKING
නව ආරක්ෂක පනත් දෙකෙන් GSP+ සහනයටත් දැඩි තර්ජනයක් - නීති විශාරදයෝ අනතුරු අඟවති●බ්‍රිතාන්‍ය ස්ථිර පදිංචි කාලය දෙගුණ වෙයි: සාත්තු සේවකයන්ට සහනයක්●දශක තුනකට පසු සාෆ් බලාපොරොත්තුවක්: ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම දැන් බංග්ලාදේශයේ!●දකුණු ඉන්දීය සිනමාව හොල්ලමින් රජිනිගේ 'ජේලර් 2' කෝටි 800 සීමාව බිඳදමයි●මර්දන පනත් හකුළනු: හෙට (04) පාර්ලිමේන්තුව වටලන සටනක්!●වයස 16 ළමා සමාජ මාධ්‍ය තහනම : ඔස්ට්‍රේලියාවේ මහාධිකරණ සටනක්●ලොතරැයි අරමුදල් නඩුව: රවී කරුණානායකට එරෙහි නඩු විභාගය කල්යයි●මර්ලින් මොන්රෝ සැබෑ ආදරය සෙවූ ඛේදනීය ජීවිත ගමන●මිලියන 59ක මුදල් නඩුවෙන් ඩේසි ෆොරස්ට් මුදාහැරේ●කාන්තා හදවත රැකගන්න අලුත් වෛද්‍ය මාවතක්●
Top Ad
පුවත්

මර්දන පනත් හකුළනු: හෙට (04) පාර්ලිමේන්තුව වටලන සටනක්!

Awara

Awara

November 3, 2026 • 5:19 PM

මර්දන පනත් හකුළනු: හෙට (04) පාර්ලිමේන්තුව වටලන සටනක්!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජනතාව ත්‍රස්තවාදීන් කරන PTA, PSTA සහ OCA පනත් වහා අහෝසි කරන ලෙස බලකරමින් ජන අරගල ව්‍යාපාරය හෙට පාර්ලිමේන්තුව ඉදිරිපිට දැවැන්ත විරෝධතාවකට සැරසෙයි.
  • මුලින් ආණ්ඩුව අත්තනෝමතික විදිහට තමන්ගේ තුනෙන් දෙකේ බලය පාවිච්චි කරලා මේ නොවැම්බර් මාසේ 4 සහ 5 දවස් දෙකේදි PSTA පනත පාර්ලිමේන්තුවට දාලා සම්මත කරගන්න තමයි ලෑස්ති වුණේ.
  • මේ රටේ ජනතාව 2022 දැවැන්ත අරගලයක් කළා.
  • මෙහෙම සාමාන්‍ය ජනතාවගේ කරපිට බදු බර පටවන ගමන් ඩඩ්ලි සිරිසේනලා ඇතුළු ගජමිතුරන්ට ආණ්ඩුව හැම සහනයක්ම දෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

ජනතාව ත්‍රස්තවාදීන් කරන PTA, PSTA සහ OCA පනත් වහා අහෝසි කරන ලෙස බලකරමින් ජන අරගල ව්‍යාපාරය හෙට පාර්ලිමේන්තුව ඉදිරිපිට දැවැන්ත විරෝධතාවකට සැරසෙයි.

ජනතාව ත්‍රස්තවාදීන් කරන PTA, PSTA, OCA මර්දන පනත් අහෝසි කරන ලෙස බල කරමින් හෙට (නොවැම්බර් 4) දින පාර්ලිමේන්තුව අසල පවත්වනු ලබන දැවැන්ත විරෝධතා උද්ඝෝෂණය පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් අද (2026.11.03) දින පස්වරු 1.00ට ජන අරගල ව්‍යාපාරය විසින් නුගේගොඩදී කැඳවන ලදී.

එහිදී අදහස් දැක්වූ ජන අරගල ව්‍යාපාරයේ ජාතික විධායක සභික වසන්ත මුදලිගේ:

"ජනතා විරෝධය හමුවේ ආණ්ඩුව පස්සට ගියත් සටන ඉවර නෑ"

"මේ වෙද්දි ආණ්ඩුව ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත (PSTA) සහ සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත (OCA) කියන මර්දන පනත් දෙක පාර්ලිමේන්තුවේ සම්මත කරගන්න ලෑස්ති වෙලා ඉන්නවා. මුලින් ආණ්ඩුව අත්තනෝමතික විදිහට තමන්ගේ තුනෙන් දෙකේ බලය පාවිච්චි කරලා මේ නොවැම්බර් මාසේ 4 සහ 5 දවස් දෙකේදි PSTA පනත පාර්ලිමේන්තුවට දාලා සම්මත කරගන්න තමයි ලෑස්ති වුණේ.

හැබැයි ඒකට එල්ල වුණු බරපතළ සමාජ විරෝධය එක්ක දැන් ආණ්ඩුව මේ පනත සම්මත කිරීම තාවකාලිකව ආපස්සට ගන්න තීරණය කරලා තියනවා. අපි හිතනවා ආණ්ඩුව යම් තරමකින් හරි ජනතාවගේ මතයට කන් දෙන්න හිතපු එක හොඳයි. හැබැයි අපි ආණ්ඩුවට කිව්වේ PSTA පනත වගේම PTA එකත් හකුළගන්න කියලා. ඒ වගේම තමයි OCA පනතත් හකුළගත යුතුයි.

අපි දන්නවා මේ පනත් සම්මත වුණොත් ජනතාවට කට අරින්න වෙන්නේ කන්නයි ඈනුම් අරින්නයි විතරයි. මේ රටේ ජනතාව 2022 දැවැන්ත අරගලයක් කළා. ඒ, රටේ ජනතාවගේ ධනය කොල්ල කාගෙන මේ රටේ ආර්ථිකය ඝාතනය කරපු දේශපාලන කල්ලිවලට විරුද්ධව. ඒ අරගලයෙන් පස්සෙ තමයි මිනිස්සු තීරණය කළේ ජාතික ජන බලවේග ආණ්ඩුවට මේ රටේ පාලනය බාර දෙන්න. දැන් ඒ අරගලයෙන් බලයට ආව ජාජබ ආණ්ඩුව ලෑස්ති වෙන්නේ මර්දන පනත් ගෙනල්ලා තමන්ට ඡන්දෙ දුන්න ජනතාවගේ කට වහන්න."

"බදු ගහලා මිනිස්සු මරන ගමන් ගජමිතුරන්ට සහන දෙනවා"

"මොකද ආණ්ඩුව ගමන් කරන IMF මූලික කරගත්ත ආර්ථික කොන්දේසි එක්ක මේ රටේ ජනතාවගේ කරමත දැවැන්ත බදු බරක් පැටවිලා තියනවා. තරුණයන්ට තමන්ගේ බයික් එකට, ත්‍රීවීල් එකට තෙල් ටික ගහගන්න විදිහක් නැහැ. රෝහලට ගියාට පස්සේ බෙහෙත් ටික නැහැ. දරුවන්ගේ පොත්පත් ටික ගන්න විදිහක් නැහැ. කාන්තාවන්ගේ සනීපාරක්ෂක ද්‍රව්‍යවලට පවා දැවැන්ත බද්දක් ගහලා තියෙන්නේ.

මෙහෙම සාමාන්‍ය ජනතාවගේ කරපිට බදු බර පටවන ගමන් ඩඩ්ලි සිරිසේනලා ඇතුළු ගජමිතුරන්ට ආණ්ඩුව හැම සහනයක්ම දෙනවා. මෙන්න මේ තත්වය ඇතුළේ රටේ ජනතාවට පාරට බහින එක හැරෙන්න වෙන විකල්පයක් නැහැ. අන්න ඒක දන්න නිසා තමයි නැවත 2022 වගේ අරගලයක් එන එක නවත්වන්න ආණ්ඩුව ජනතාවගේ කටට වැට බඳින මර්දන පනත් අරගෙන එන්නේ."

"එදා මර්දනය අත්විඳපු ජේවීපී එක අද ජනතාව ත්‍රස්තවාදීන් කරනවා"

"අපි දන්නවා ආණ්ඩුව බලයට එනකොට හැසිරිච්ච විදිහ. මර්දනයට එරෙහිව උද්ඝෝෂණ, පාගමන් ගියා. කම්කරු අයිතිවාසිකම් ගැන, නිදහස් අධ්‍යාපන අයිතිය ගැන වේදිකා දෙදරන්න කතා කළා. දැන් ඒ ඔක්කොම ආණ්ඩුවට අමතකයි. අර හෝමාගම තරුණයා පොලිස් කූඩුව ඇතුළේ අමානුෂික විදිහට ඝාතනය වෙද්දි ආණ්ඩුව නිහඬයි. කඩවතදි පොලීසිය ත්‍රීවීල් එකකට වෙඩි තියද්දි ආණ්ඩුව නිහඬයි. කටවහගෙන ඉන්නවා මදිවට ආණ්ඩුව ලෑස්ති වෙන්නේ මෙහෙම අමු අමුවේ මිනී මරණ පොලීසියට තව බලය දෙන පනතක් සම්මත කරන්න.

වෙනදා පොලීසියට පැය 24ක් රඳවගන්න පුළුවන් වුණ නීතිය මේ පනත් සම්මත වුණොත් පැය 72ක් දක්වා දික් වෙනවා. ඒ වගේම තමයි පොලීසියෙන් කොඳු කැඩෙන්න ගහලා ගන්න පාපොච්ඡාරණය මේ පනත්වලින් උසාවියේ නීත්‍යානුකූල සාක්ෂියක් බවට පත් වෙනවා. PTA එක නිසා එදා ජනතා විමුක්ති පෙරමුණ මෙහෙම මර්දනයක් අත්වින්දා. පොලිස් අත්අඩංගුවේදි තමයි එදා ජනතා විමුක්ති පෙරමුණේ නායකයෝ ඝාතනය වුණේ. බලහත්කාරයෙන් ගත්ත කටඋත්තර නිසා පීඩාවට ලක් වුණ අය ජනතා විමුක්ති පෙරමුණේ අදත් ඉන්නවා. එහෙම දේශපාලන ව්‍යාපාරයක් අද ආණ්ඩු බලයට ඇවිල්ලා රටේ ජනතාව ත්‍රස්තවාදීන් කරලා ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් නැති කරන්න යන එක ඛේදවාචකයක්."

"හෙට දවල් 12ට පාර්ලිමේන්තු වටරවුමට එන්න"

"මේ ඛේදවාචකය දිහා නිහඬව බලාගෙන ඉන්න අපිට පුළුවන්කමක් නැහැ. අපි ආණ්ඩුවට කියනවා PTA, PSTA, OCA කියන ජනතාද්‍රෝහී මර්දන පනත් වහාම හකුළාගත යුතුයි. අන්න ඒ බලපෑම ආණ්ඩුවට කරන්න හෙට නොවැම්බර් 4 වෙනිදා අපි එනවා පාර්ලිමේන්තුව ගාවට. මේ රටේ වෘත්තීය සමිති, දේශපාලන ක්‍රියාකාරීන් ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදයට ලැදි සියලු ජනතාව හෙට පාර්ලිමේන්තුව ළඟට එනවා. මේ එන්නේ මර්දන පනත් අහෝසි කරන්න කියන බලපෑම ආණ්ඩුවට කරන්න.


අන්න ඒ විරෝධතාවට එකතුවෙන්න හෙට දවල් 12.00ට පාර්ලිමේන්තු වටරවුමට එන්න කියලා අපි රටේ සියලු ජනතාවට ආරාධනා කරනවා. මොකද අද අපි මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවන් දිහා නිහඬව බලාගෙන හිටියොත් හෙට දවසේ රටේ ජනතාවගේ නිදහස තමයි අහිමි වෙන්නේ. බදු බරට විරුද්ධව කටක් අරින්න බැරිවෙන, ජනතා දේපළ හොරා කන හොරුන්ට විරුද්ධව හඬ නගන්න බැරි වෙන රටක් තමයි මෙහෙම ගියොත් නිර්මාණය වෙන්නේ. අපි ඒකට ඉඩ තියන්නේ නැහැ. ඒ නිසා අපි ජන අරගල ව්‍යාපාරය විදිහට මේ මර්දන පනත් අහෝසි කරනතුරු සටන් කරන්න ලෑස්තියි කියන පණිවුඩය මේ වෙලාවේ ආණ්ඩුවට ලබා දෙනවා."

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

#theleader.lk#theleadernews
The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...