The Leader News
BREAKING
Top Ad
පුවත්

කොළඹ වරායෙන් රටට ඩොලර් මිලියන 50ක් අහිමිවීමේ අවදානමක්

Awara

Awara

November 4, 2026 • 12:53 PM

කොළඹ වරායෙන් රටට ඩොලර් මිලියන 50ක් අහිමිවීමේ අවදානමක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙම ගාස්තු සම්බන්ධයෙන් පසුගිය රජයන් හඳුන්වා දුන් නියාමන රෙගුලාසි සඳහා අවශ්‍ය පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගැනීමට මෙතෙක් නිසි පියවර ගෙන නොමැති බවද එම සංගමය පෙන්වා දෙයි.
  • මෙම ගැටලුව සම්බන්ධයෙන් අනුක්‍රමිකව බලයට පත් වූ රජයන් දැනුවත් කර ඇති අතර, අදාළ රෙගුලාසිවලට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග පවා ගෙන තිබේ.
  • ජනාධිපති අනුර කුමාර දිසානායක ට සහ අදාළ බලධාරීන්ට ලිපියක් යොමු කරමින් CEYFFA පෙන්වා දී ඇත්තේ, පැවති රජයන් හඳුන්වා දුන් රෙගුලාසි නිසා පිරිවැය ඉහළ යාමත් විදේශ විනිමයට අහිතකර බලපෑම් එල්ල වීමත් සිදුවන බවයි.
  • ඒ අනුව නැව් නියෝජිතයන්, භාණ්ඩ ප්‍රවාහන සංවිධායකයන් (Freight Forwarders), NVOCCs සහ බහාලුම් මෙහෙයුම්කරුවන්ගේ ගාස්තු ව්‍යුහය සම්බන්ධයෙන් නිකුත් කළ ගැසට් අංක 2334/26 අවලංගු කරන ලෙස සංගමය විශේෂයෙන් ඉල්ලා සිටියි.
අකුරු ප්‍රමාණය (Font Size):

කොළඹ වරායේ ආනයනකරුවන්ගෙන් සහ අපනයනකරුවන්ගෙන් අය කෙරෙන ගාස්තු සම්බන්ධයෙන් පවතින නියාමන ගැටලු හේතුවෙන්, වාර්ෂිකව මෙරටට අහිමි විය හැකි ඇමරිකානු ඩොලර් මිලියන 50කට වැඩි විදේශ විනිමය ප්‍රමාණය වහා වැළැක්වීමට පියවර ගන්නැයි Ceylon Freight & Logistics Association (CEYFFA) සංගමය රජයෙන් ඉල්ලා සිටියි.

මෙම ගාස්තු සම්බන්ධයෙන් පසුගිය රජයන් හඳුන්වා දුන් නියාමන රෙගුලාසි සඳහා අවශ්‍ය පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගැනීමට මෙතෙක් නිසි පියවර ගෙන නොමැති බවද එම සංගමය පෙන්වා දෙයි.

විදේශ විනිමයට එල්ල වන දැඩි පීඩනය

CEYFFA හි මහලේකම් ඉනාම් කෆූර්

ඉකුත්දා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී CEYFFA හි මහලේකම් ඉනාම් කෆූර් පැවසුවේ, වරාය පර්යන්ත ගාස්තු සහ නාවික ප්‍රවාහනයට අදාළ වෙනත් ගාස්තු වෙනුවෙන් විදේශීය පාර්ශ්වයන්ට විදේශ මුදල් ගෙවීමට සිදුවීම මෙරට විදේශ විනිමය සංචිතයට අනවශ්‍ය පීඩනයක් එල්ල කරන බවයි.

මෙම ගැටලුව සම්බන්ධයෙන් අනුක්‍රමිකව බලයට පත් වූ රජයන් දැනුවත් කර ඇති අතර, අදාළ රෙගුලාසිවලට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග පවා ගෙන තිබේ. CEYFFA පෙන්වා දෙන ප්‍රධාන අර්බුදය වන්නේ පර්යන්ත හැසිරවීමේ ගාස්තු (Terminal Handling Charge - THC) සම්බන්ධ ක්‍රමවේදයයි. වරායකදී බහාලුම් (Containers) ගොඩබෑම, පැටවීම සහ ඒවා හැසිරවීම වෙනුවෙන් මෙම ගාස්තු අය කෙරේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක ට සහ අදාළ බලධාරීන්ට ලිපියක් යොමු කරමින් CEYFFA පෙන්වා දී ඇත්තේ, පැවති රජයන් හඳුන්වා දුන් රෙගුලාසි නිසා පිරිවැය ඉහළ යාමත් විදේශ විනිමයට අහිතකර බලපෑම් එල්ල වීමත් සිදුවන බවයි. ඒ අනුව නැව් නියෝජිතයන්, භාණ්ඩ ප්‍රවාහන සංවිධායකයන් (Freight Forwarders), NVOCCs සහ බහාලුම් මෙහෙයුම්කරුවන්ගේ ගාස්තු ව්‍යුහය සම්බන්ධයෙන් නිකුත් කළ ගැසට් අංක 2334/26 අවලංගු කරන ලෙස සංගමය විශේෂයෙන් ඉල්ලා සිටියි.

ගැසට් නිවේදන හා නීතිමය පැටලැවිල්ල

මෙම ගැටලුවේ ආරම්භය 2013 වසරේදී ගැසට් අංක 1842/16 මගින් හඳුන්වා දුන් සියලු ගාස්තු ඇතුළත් භාණ්ඩ ප්‍රවාහන ගාස්තු ක්‍රමවේදය (All-inclusive Freight Regime) දක්වා දිව යයි. 2017 වසරේදී ගැසට් අංක 2041/10 මගින් එය තවදුරටත් ශක්තිමත් කෙරිණි.

එම ක්‍රමවේදය යටතේ බහාලුම් මගින් භාණ්ඩ ප්‍රවාහනය කිරීමේදී පර්යන්ත හැසිරවීමේ ගාස්තු ඇතුළු අදාළ සියලු වියදම් එක් සමස්ත භාණ්ඩ ප්‍රවාහන ගාස්තුවකට ඇතුළත් කළ යුතු විය. ගිවිසුම්ගතව වගකිව යුතු නොවන පාර්ශ්වයන්ගෙන් පසුව වෙනම මුදල් අය කිරීම වැළැක්වීම එහි අරමුණ විය.

කෙසේ වෙතත්, 2022 වසරේදී නාවික කටයුතු අමාත්‍යාංශය ගාස්තු ව්‍යුහයේ වෙනස්කම් හඳුන්වා දීමත් සමග ඊට එරෙහිව අධිකරණයේ අභියෝග එල්ල විය. ඉන් අනතුරුව, 2017 රෙගුලාසි අවලංගු කරමින් 2023 මාර්තු මාසයේදී ගැසට් අංක 2321/62 නිකුත් කෙරුණු අතර, පසුව ගැසට් අංක 2334/26 මගින් සියලු ගාස්තු ඇතුළත් භාණ්ඩ ප්‍රවාහන ගාස්තු ක්‍රමවේදය නැවත ස්ථාපිත කරන ලදී.

අධිකරණ තීන්දුවලින් පසුව මෙම තත්ත්වය නිරාකරණය වෙතැයි අපේක්ෂා කළද, ඒ සඳහා සකස් කළ ගැසට් පත්‍රය අනුමැතිය සඳහා වත්මන් අමාත්‍ය මණ්ඩලයට හෝ පාර්ලිමේන්තුවට මෙතෙක් ඉදිරිපත් කර නොමැති බව කෆූර් සඳහන් කරයි.

ගෙවීම් රුපියල්වලින් සිදු කිරීමේ අවශ්‍යතාව

වරාය පර්යන්ත සහ මෙහෙයුම්කරුවන් විසින් ඇමරිකානු ඩොලර්වලින් ගෙවීම් ඉල්ලා සිටීම නිසා මෙරට ලොජිස්ටික්ස් සමාගම්වල මූල්‍ය බර සහ විදේශ මුදල් ඉල්ලුම අධික ලෙස ඉහළ ගොස් ඇත. එබැවින්, ශ්‍රී ලංකාව තුළ සපයන සේවාවන් සඳහා වන ගෙවීම් මෙරට විදේශ විනිමය රෙගුලාසිවලට අනුකූලව ශ්‍රී ලංකා රුපියල්වලින් පමණක් සිදු කළ යුතු බව සංගමය අවධාරණය කරයි.

නැව් ප්‍රවාහන හා ලොජිස්ටික්ස් ක්ෂේත්‍රයේ ගාස්තු තීරණය කිරීම සඳහා අදාළ සියලු පාර්ශ්ව නියෝජනය වන උපදේශන නියාමන යාන්ත්‍රණයක් ස්ථාපිත කරන ලෙසද CEYFFA ඉල්ලා සිටියි.

එම යාන්ත්‍රණය සඳහා පහත පාර්ශ්ව ඇතුළත් විය යුතු බව ඔවුන්ගේ යෝජනාවයි:

* නැව් සමාගම් (Shipping Lines)
* භාණ්ඩ ප්‍රවාහන සංවිධායකයන් (Freight Forwarders)
* NVOCC මෙහෙයුම්කරුවන්
* රේගු නියෝජිතයන් (Customs Brokers)
* වරාය පර්යන්ත මෙහෙයුම්කරුවන් (Terminal Operators)
* අදාළ අනෙකුත් පාර්ශ්වයන්

අපනයනකරුවන්ගේ විරෝධය

කෙසේ වෙතත්, අපනයනකරුවන්ගේ ජාතික මණ්ඩලය (NCE) ඊට වෙනස් ස්ථාවරයක පසුවේ. ඔවුන් පවසන්නේ දැනට පවතින ‘සියලු ගාස්තු ඇතුළත්’ ක්‍රමවේදය තවදුරටත් නොවෙනස්ව ක්‍රියාත්මක විය යුතු බවයි.

සාකච්ඡා කර එකඟ වූ ගාස්තුවට අමතරව THC වෙනම අය කිරීමට ඉඩ දීමෙන් අපනයනකරුවන්ගේ සහ ආනයනකරුවන්ගේ වියදම් ඉහළ ගොස්, අවසානයේ එම බර පාරිභෝගිකයා පිට පැටවෙනු ඇතැයි NCE පෙන්වා දෙයි. ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නිල ගාස්තු ලැයිස්තුවේද “Terminal Handling Charge” යන යෙදුම භාවිත නොවන බව ඔවුන්ගේ ස්ථාවරයයි.

කලාපීය තරගකාරීත්වයේ අවදානම

කලාපීය ලොජිස්ටික්ස් මධ්‍යස්ථානයක් ලෙස කොළඹ වරායේ තරගකාරීත්වය පිළිබඳව නැවත විවාදයක් මතුව ඇත්තේ මෙවන් පසුබිමකය. THC සම්බන්ධ අවිනිශ්චිතතාව නිසා කොළඹ වරාය වාණිජමය වශයෙන් ආකර්ෂණය අඩු ස්ථානයක් වෙමින් පවතින බව ශ්‍රී ලංකා NVOCC නියෝජිතයන්ගේ සංගමයද මීට පෙර අනතුරු අඟවා තිබිණි.

ජාත්‍යන්තර ප්‍රධාන වරායන් අනුගමනය කරන පිළිවෙත්වලට පටහැනිව ක්‍රියා කළහොත්, ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ප්‍රවාහන වෙළෙඳපොළ අහිමි වී එම අවස්ථා ඉන්දීය වරායන් වෙත මාරු වීමේ බරපතළ අවදානමක් පවතින බැවින් රජය වහාම නව නියාමන යාන්ත්‍රණයක් සකස් කළ යුතු බව CEYFFA අවධාරණය කරයි.

(සටහන | ජේ.මුණසිංහ)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

#theleader.lk#theleadernews
The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...