ශ්‍රී ලංකාවේ අලුතින් පත්ව පැමිණි චීන තානාපති වේයි හුවාක්සියාං (Wei Huaxiang) සහ සර්වජන බලය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර අතර විශේෂ සාකච්ඡාවක් කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලයේදී පැවැත්විණි.
පැය දෙකකට ආසන්න කාලයක් ඇදී ගිය මෙම සුහද හමුවේදී දෙරට අතර දිගුකාලීන සබඳතා, චීන ආධාර ලබන සංවර්ධන ව්‍යාපෘති සහ මෙරට තාරුණ්‍යය ආර්ථිකමය වශයෙන් බලගැන්වීම සම්බන්ධයෙන් ගැඹුරින් අදහස් හුවමාරු කර ගැනිණි.
මිත්‍රත්වයේ පදනම සහ ව්‍යවසායකත්ව දැක්ම
ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලියට චීනය ලබා දෙන අඛණ්ඩ දායකත්වය අගය කළ දිලිත් ජයවීර, දෙරට අතර සබඳතාව අතිශය වැදගත් එකක් බව පෙන්වා දුන්නේය.
"චීනය මෙරටට කළ උපකාර දෙස බැලීමේදී පෙරළා බලාපොරොත්තු වී ඇත්තේ ඉතාම සුළු දෙයක්," යැයි ඔහු මෙහිදී සඳහන් කළේය. ලෝකයේ දැවැන්ත ආර්ථිකයක් හිමි චීනයේ ව්‍යාපාරික දැනුම, අත්දැකීම් සහ තාක්ෂණික විශේෂඥතාව මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට මෙන්ම තරුණ පරපුරට ලබාගැනීමට පුළුල් අවස්ථා නිර්මාණය කරදෙන ලෙස හෙතෙම තානාපතිවරයාගෙන් ඉල්ලා සිටියේය.
සංවර්ධන ප්‍රවේශය සහ සෞඛ්‍ය ව්‍යාපෘති
"චීනයේ සංවර්ධන සහයෝගීතාව යනු මසුන් ලබාදීම පමණක් නොව, මසුන් අල්ලන ආකාරය කියාදීමයි," යන ප්‍රතිපත්තිය පැහැදිලි කළ තානාපති වේයි හුවාක්සියාං, චීන ආධාර පිටුපස කිසිදු සැඟවුණු න්‍යායපත්‍රයක් නොමැති බව අවධාරණය කළේය.
විශේෂයෙන් රජරට ඇතුළු ප්‍රදේශවල නිදන්ගත වකුගඩු රෝගයෙන් පීඩා විඳින ජනතාව වෙනුවෙන් පිරිසිදු පානීය ජලය සැපයීමේ චීන ආධාර ව්‍යාපෘති පිළිබඳව මෙහිදී තානාපතිවරයා දීර්ඝ විස්තරයක් කළේය. කොළඹ වරාය නගරය, හම්බන්තොට වරාය සහ නොරොච්චෝලේ බලාගාරය වැනි දැවැන්ත ආයෝජනවල දිගුකාලීන ප්‍රතිලාභ රටේ ඉදිරි ගමනට අත්‍යවශ්‍ය සාධක බව ද තානාපතිවරයා පෙන්වා දුන්නේය.
චීන සංචාරයක් සහ ශිෂ්‍යත්ව අවස්ථා
මෙරට තරුණ ප්‍රජාවට චීනයේ උසස් අධ්‍යාපනය සඳහා වන ශිෂ්‍යත්ව අවස්ථා පුළුල් කිරීමට කැමැත්ත පළ කළ තානාපතිවරයා, නුදුරු අනාගතයේදීම නිල සංචාරයක් සඳහා චීනයට පැමිණෙන ලෙස සර්වජන බලය නියෝජිත පිරිසට ආරාධනයක් කළේය. හම්බන්තොට වරායේ වත්මන් ක්‍රියාකාරීත්වය සෘජුව නිරීක්ෂණය කිරීමට ද එම පිරිසට ඇරයුම් කෙරිණි.
සිය පක්ෂ මූලස්ථානය වෙත පැමිණෙන ලෙස දිලිත් ජයවීර කළ සුහද ආරාධනය පිළිගත් තානාපතිවරයා, දෙපාර්ශ්වය අතර අඛණ්ඩ සන්නිවේදනයක් පවත්වා ගැනීමට එකඟ විය.
මෙම හමුවට සර්වජන බලය පක්ෂය නියෝජනය කරමින් එහි සභාපති රොෂාන් රණසිංහ, මහාචාර්ය චන්න ජයසුමන, ගාමිණී වලේබොඩ, අනුරාධා යහම්පත්, නීතිඥ මධුර විතානගේ, ඉරංග මෙන්ඩිස්, වෛද්‍ය ප්‍රසාද් හේවගේ සහ අනුරුද්ධ හේරත් යන පිරිස එක්ව සිටියහ. චීන තානාපති කාර්යාලය නියෝජනය කරමින් තානාපති උපදේශකවරුන් වන මේයි ජින්ග් (Mei Jing) සහ ජින් එන්සේ (Jin Enze) ද ඊට සහභාගී වූහ.





