පෙත්සම් 26ක් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවට
සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඇතුළු පාර්ශ්ව ගොනු කළ පෙත්සම් 26ක් ශ්‍රේෂ්ඨාධිකරණයේදී විභාගයට ගැනිණි.
අගවිනිසුරු ප්‍රීති පද්මන් සුරසේන, අචල වෙංගප්පුලි සහ සම්පත් අබේකෝන් යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කරුණු දැක්වීම් ආරම්භ විය.
සුළු වැරදිත් 'සංවිධානාත්මක අපරාධ' කළ හැටි
පෙත්සම්කාර පාර්ශ්වයක් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා පෙන්වා දුන්නේ "බරපතළ අපරාධ" නිර්වචනය කර ඇති ආකාරය අතිශය භයානක බවයි.
සුළු දඩයකින් අවසන් වන බුද්ධිමය දේපළ වැරදි, වෙළෙඳ ලකුණු, සුරාබදු මෙන්ම වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥාපනතේ වැරදි පවා මෙම පනත යටතට ගෙන තිබේ. එක්සත් ජාතීන්ගේ සම්මුතියේ මූලික පදනම පවා උල්ලංඝනය වන පරිදි මෙම කෙටුම්පත සකස් කිරීමේදී ජනාධිපතිවරයා නොමග යවා ඇති බව ජනාධිපති නීතිඥවරයා අධිකරණයට ප්‍රකාශ කළේය.
මහේස්ත්රාත්වරුන්ගේ විචාර බුද්ධිය අහිමි කිරීමේ අනතුර
ආරක්ෂක ලේකම්වරයාගේ රැඳවුම් නියෝග මත පුද්ගලයෙකු මාස දෙකේ සිට වසරක් දක්වා රඳවා තැබීමට සහ පොලිස් භාරයේ පැය 72ක් රඳවා ගැනීමට මෙයින් ඉඩ සැලසේ.
නීතිඥ සුරේන් ප්‍රනාන්දු පෙන්වා දුන්නේ සැකකරුවෙකු අධිකරණයට ඉදිරිපත් කළ විට මහේස්ත්රාත්වරයාට ස්වාධීන තීරණ ගැනීමට ඉඩ නොතබා හුදු රබර් මුද්‍රාවක් බවට පත් කර ඇති බවයි. එමෙන්ම ඇප දීමේ බලය මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉවත් කර මහාධිකරණයට පවරා තිබේ.
පනතේ 10 වැනි වගන්තිය අනුව අපරාධ කල්ලියක් සංවිධානය කරන ශ්‍රමදානයකට හෝ දන්සලකට සහභාගි වීම පවා වරදක් ලෙස අර්ථකථනය වීමේ බරපතළ අනතුරක් පවතින බව ද ඔහු පෙන්වා දුන්නේය.
තොරතුරු වසන් කිරීමේ චෝදනාව සහ අධිකරණ වාර්තාකරණයට වැට
යම් පුද්ගලයෙකු තමා කළ වරදක් නීතිඥවරයෙකුට පැවසුවද, එම තොරතුර වහාම පොලිසියට ලබා නොදුනහොත් නීතිඥවරයා පවා සිරගත වීමේ අවදානමක් පවතින බව අධිකරණයේදී අනාවරණය විය.
ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් අවධාරණය කළේ 14 වැනි වගන්තිය හරහා අධිකරණ ප්රවෘත්ති වාර්තාකරණයට සෘජු බාධා එල්ල වන බවයි. අධිකරණ අවසරයකින් තොරව කරුණු ප්‍රසිද්ධ කිරීම හෝ වින්දිතයෙකුගේ නම මුද්‍රණය කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බවට පත් කර තිබේ.
ජනමත විචාරණයක අවශ්‍යතාව සහ අතීත පාර්ලිමේන්තු මතකය
ජනාධිපති නීතිඥ එරාජ් ද සිල්වා සඳහන් කළේ විවිධ තැන්වලින් අහුලාගත් කොටස් එකතු කර සකස් කළ මෙම පනතින් විධායකයට අනවශ්‍ය බලයක් හිමිවන බවයි.
විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරී ශාන්ත ජයතිලක සිහිපත් කළේ, 2022 වසරේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත විවාදයට ගත් මොහොතේ වත්මන් විදේශ අමාත්‍ය විජිත හේරත් පාර්ලිමේන්තුවේදී දැක්වූ අදහස්ය. අමාත්‍යවරයාට පමණක් මෙවැනි අසීමිත බලයක් පැවරීම මානසික ව්‍යාකූලතාවකින් පෙළෙන පාලකයෙකු අතට පත්වුවහොත් සිදුවිය හැකි විනාශය එදා විජිත හේරත් මතු කළ බවත්, අද ඉදිරිපත් කර ඇත්තේ ද එවැනිම අනතුරුදායක නීතියක් බවත් ඔහු පෙන්වා දුන්නේය.
මූලික අයිතිවාසිකම් සහ අධිකරණ බලය කප්පාදු කරන මෙවැනි නීතියක් සම්මත කිරීමට නම් අනිවාර්යයෙන්ම ජනමත විචාරණයක් පැවැත්විය යුතු බව පෙත්සම්කරුවෝ අධිකරණය හමුවේ තරයේ කියා සිටියහ.
වැඩිදුර තොරතුරු සහ පසුබිම් වාර්තා:
BBC සිංහල: සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය ඇරඹෙයි



