කළුවර පරදා නැගී සිටි ගමේ අම්මාවරු
හිරු බැස ගිය පසු අප්‍රිකාවේ දුරබැහැර ගම්මාන ගිලගත්තේ දැඩි අන්ධකාරයයි. භූමිතෙල් ලාම්පුවෙන් සහ ඉටිපන්දම් එළියෙන් යන්තම් ගැටගසාගත් ඒ රාත්‍රීන් සර්පයන්, කෘමීන් මෙන්ම අනාරක්ෂිත බව ද කැඳවාගෙන ආවා.
ළමයින්ට පොතක් පතක් බලාගන්නට හෝ මවුවරුන්ට නිවසේ කටයුත්තක් කරගන්නට ඒ අඳුර කිසිසේත්ම ඉඩ දුන්නේ නැහැ.
මේ පීඩාකාරී යථාර්ථය කණපිට පෙරළුවේ කිසිදා පාසලක පය නොතැබූ, අකුරු කියවීමට හෝ ලිවීමට නොහැකි ඒ ගම්මානවලම වැඩිහිටි කාන්තාවන් පිරිසක්.
පොත් නැති පන්ති කාමරයේ සූර්ය ඉංජිනේරු ශිල්පය
සාම්ප්‍රදායික විභාග හෝ ඉංග්‍රීසි පොතපත වෙනුවට සියල්ල සිදුවුණේ අතින් අල්ලා කරන ප්‍රායෝගික පුහුණුවකින්. ඉන්දියාවේ රාජස්ථාන්හි පිහිටි Barefoot College ආයතනය හඳුන්වා දුන් Solar Mamas වැඩසටහන හරහා මෙම කාන්තාවන් මාස හයක නේවාසික පුහුණුවක් ලැබුවා.
වයර් සම්බන්ධ කිරීම, සූර්ය පැනල සවිකිරීම, බැටරි නඩත්තුව සහ සූර්ය පරිපථ අලුත්වැඩියාව ඔවුන් ඉගෙනගත්තේ සංකේත සහ වර්ණ කේත උපයෝගී කරගනිමින්.
ලොව පුරා රටවල් 96 කින් පැමිණි කාන්තාවන් 1,700කට වැඩි පිරිසක් මේ වන විට මෙම ශිල්පය මනාව ප්‍රගුණ කර තිබෙනවා.
ගමේ තාක්ෂණික ස්වයංපෝෂිතභාවය සහ ආර්ථික සහනය
පුහුණුව නිමවා සිය රටවලට ගිය මෙම කාන්තාවන් නිවාස 75,000කට වැඩි ප්‍රමාණයකට සූර්ය විදුලි බලය සපයා අවසන්. මෙයින් ඉතිරි වූ භූමිතෙල් ප්‍රමාණය ලීටර් මිලියන 45කට අධික බවයි සංඛ්‍යාලේඛන පෙන්වා දෙන්නේ.
ටැන්සානියාව සහ සියෙරා ලියෝන් වැනි රටවල සෑම නිවසකටම සූර්ය පැනලයක්, බැටරියක් සහ බල්බ තුනක් බැගින් ලබාදී තිබෙනවා. එම උපකරණ සඳහා වැයවන මුදල වසර පහක් පුරා වාරික වශයෙන් ගෙවීමට ගම්මුන්ට පහසුකම් සලසා දී තිබීම ආර්ථික වශයෙන් විශාල සහනයක්.
පද්ධතියක දෝෂයක් ආ විට නගරවලින් ඉංජිනේරුවන් එනතුරු බලා නොසිට, ගමේ සිටින මිත්තණිය විසින්ම එය පැය කිහිපයකින් පිළිසකර කර දීම ගමේ ස්වාධීනත්වයට ප්‍රබල ශක්තියක් වී තිබෙනවා.
කුස්සියෙන් ඔබ්බට ගිය පරපුරක නායකත්වය
මෙය හුදෙක් විදුලි බුබුළක් දැල්වීමට එහා ගිය ගැඹුරු සමාජ පරිවර්තනයක් බව එක්සත් ජාතීන්ගේ කාන්තා සංවිධානය (UN Women) පෙන්වා දෙනවා. ගෙදර දොරේ අත්උදව්කාරියන් ලෙස පමණක් සැලකුණු ගැමි කාන්තාව අද වන විට මුළු ගමේම තාක්ෂණික නායිකාව බවට පත්ව අවසන්.
සිය මව ඉංජිනේරුවරියක ලෙස ගමට පැමිණි මොහොත දුටු ටැන්සානියාවේ චෙකෙලේනි ගම්මානයේ 10 හැවිරිදි දැරියක් පවසා තිබුණේ, "මටත් ලොකු වුණාම අම්මා වගේ රටේ නායිකාවක්, ජනාධිපතිවරියක් වෙන්න පුළුවන්" යනුවෙන්.
2024 වසරේ Nature Energy ජාත්‍යන්තර සඟරාවේ පළවූ පර්යේෂණ වාර්තාවකට අනුව, සම්ප්‍රදායිකව පිරිමින්ගේ විෂයක් ලෙස සැලකුණු ඉංජිනේරු ක්ෂේත්‍රය මෙවැනි ප්‍රායෝගික වැඩසටහන් හරහා කාන්තාවන් අතට පත්වීම සමාජයේ මුල්බැසගත් ආකල්ප මුළුමනින්ම වෙනස් කිරීමට සමත්ව තිබෙනවා.
වැඩිදුර තොරතුරු සහ මූලාශ්‍ර සබැඳිය :
Times of India: How African grandmothers became solar engineers



