රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත, රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ සහ මධ්‍යම බැංකුවේ ස්වාධීනත්වය ආර්ථිකයේ ප්‍රධාන තීරකයෝ බවට පත්වෙති
IMF වැඩසටහනෙන් පසු එළඹෙන තීරණාත්මක කාලපරිච්ඡේදය
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ලබාදුන් විස්තීර්ණ ණය පහසුකම් (EFF) වැඩසටහන 2027 වසරේ මාර්තු මාසයෙන් අවසන් වීමට නියමිතව තිබේ. කෙසේ වෙතත්, මෙම මුදවා ගැනීමේ වැඩපිළිවෙල නිමාවීම ශ්‍රී ලංකා ආර්ථිකයේ අභියෝගවල අවසානය නොව, රටේ ස්වෛරී ආර්ථික පාලනය පිළිබඳව එළඹෙන සැබෑ සහ දරුණු පරීක්ෂණයක ආරම්භය බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
2022 වසරේ මුහුණ දුන් දැවැන්ත ආර්ථික අර්බුදයෙන් අනතුරුව ලබාගත් තාවකාලික ස්ථාවරත්වය දිගුකාලීන ව්‍යුහමය වෙනසක් බවට පත්කිරීමට ශ්‍රී ලංකාව සමත් වී තිබේද නැද්ද යන්න තීරණය වන්නේ මෙම ජාත්‍යන්තර ආරක්ෂිත වළල්ල ඉවත් වීමෙන් පසුවය. එහිදී විදේශීය නියාමනයෙන් තොරව රාජ්‍ය මූල්‍ය විනය පවත්වාගෙන යාම, ස්වාධීන මුදල් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම සහ රාජ්‍ය ආයතන විනිවිදභාවයෙන් පවත්වාගෙන යාමේ සම්පූර්ණ වගකීම දේශීය ආයතන වෙත පැවරෙනු ඇත.
රාජ්‍ය මූල්‍ය පාලනය සහ ණය කළමනාකරණය
අනාගත ආර්ථික ස්ථාවරත්වයේ ප්‍රධාන කේන්ද්‍රස්ථානය වන්නේ රාජ්‍ය මූල්‍ය කළමනාකරණයයි. මෑතකදී සම්මත කරන ලද රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත (Public Financial Management Act) හරහා පාලනයකින් තොරව සිදුවන රාජ්‍ය වියදම් සීමා කිරීමට සහ ප්‍රාග්ධන වෙන්කිරීම්වල විනිවිදභාවය තහවුරු කිරීමට නෛතික පදනම සකස් වී ඇත. 2032 වන විට රටේ ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) 95% දක්වා පහත හෙළීමේ ඉලක්කය සපුරා ගැනීමට නම්, GDP යෙන් 2.3% ක රාජ්‍ය මූල්‍ය ප්‍රාථමික අතිරික්තයක් (Primary Surplus) පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය වේ.
එසේම, බදු අනුකූලතාව ඉහළ නැංවීම, ඩිජිටල්කරණය සහ බදු පදනම පුළුල් කිරීම මගින් ස්ථිර ආදායම් පද්ධතියක් ගොඩනැගීමට සිදුවනු ඇත. අලුතින් ස්ථාපිත කරන ලද රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලයට (Public Debt Management Office) වාණිජ සහ ද්විපාර්ශ්වික ණය විධිමත්ව පාලනය කරමින්, ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළඳපොළ වෙත යළි ප්‍රවේශ වීමට අවශ්‍ය ආයෝජක විශ්වාසය ගොඩනැගීමේ මහත් වගකීමක් හිමිවේ.
මධ්‍යම බැංකුවේ ස්වාධීනත්වය සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ
2022 වසරේ වාර්තා වූ අධි උද්ධමනයට ප්‍රධාන හේතුවක් වූ සීමා විරහිතව මුදල් අච්චු ගැසීමේ ක්‍රියාපටිපාටිය (Monetary Financing) යළි සිදු නොවීම තහවුරු කිරීම ශ්‍රී ලංකා මධ්‍යම බැංකුවේ ප්‍රධාන වගකීමයි. ස්වාධීන මුදල් ප්‍රතිපත්තියක් ඔස්සේ උද්ධමනය පාලනය කිරීම, විනිමය අනුපාතිකයේ නම්‍යශීලීබව ආරක්ෂා කිරීම සහ විදේශ විනිමය සංචිත ප්‍රවර්ධනය කිරීම මධ්‍යම බැංකුවේ ඉදිරි ගමන්මඟ විය යුතුය.
අනෙක් අතට, දීර්ඝ කාලයක් තිස්සේ රාජ්‍ය මූල්‍යයට බරක් වූ රාජ්‍ය ව්‍යාපාර (SOEs) සඳහා පිරිවැය ආවරණය වන පරිදි ඉන්ධන සහ විදුලි ගාස්තු සංශෝධනය කිරීමේ ප්‍රතිපත්තිය දිගටම පවත්වාගෙන යාම සහ විගණනය කරන ලද මූල්‍ය වාර්තා ප්‍රකාශයට පත් කිරීම අනිවාර්ය කෙරේ. මෙම සංශෝධනයන් නිසි පරිදි සිදු නොවුණහොත් රාජ්‍ය ව්‍යවසායයන් නැවතත් මූල්‍ය අස්ථාවරත්වයේ මූලාශ්‍ර බවට පත්වීමේ අවදානමක් පවතී.
සමාජීය අභියෝග සහ අනාගත නායකත්වය
වසර ගණනාවක් පුරා පැවැති බදු ඉහළ නැංවීම්, සහන කපා හැරීම් සහ ආර්ථික දුෂ්කරතා හමුවේ මහජනතාව තුළ දැඩි වෙහෙසකර ස්වභාවයක් (Reform Fatigue) නිර්මාණය වී ඇත. එම නිසා, ප්‍රතිසංස්කරණ සඳහා මහජන සහයෝගය පවත්වා ගැනීමට නම් 'අස්වැසුම' වැනි දත්ත මත පදනම් වූ විධිමත් සමාජ ආරක්ෂණ ජාල හරහා අසරණ සහ අවදානමට ලක්වූ කණ්ඩායම් ආරක්ෂා කිරීම කෙරෙහි ද රජයේ අවධානය යොමු විය යුතුය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන මගින් ශ්‍රී ලංකාවට ආර්ථික මාර්ග සිතියමක් සපයා දුන්නද, එය ස්ථිර විසඳුමක් නොවේ. 2027 මාර්තු මාසයෙන් පසුව මෙරට ආර්ථිකයේ පැවැත්ම තීරණය වන්නේ දේශපාලන බලපෑම්වලට යට නොවී, ආයතනික ස්වාධීනත්වය සුරකිමින් අපහසු වුවද නිවැරදි තීන්දු තීරණ ගැනීමට ප්‍රතිපත්ති සම්පාදකයන් දක්වන සමර්ථතාවය මතය.
(සටහන | සම්පත් ධීරසේකර )




