ශ්‍රී ලංකා එක්ස්පෝ 2027, ආයෝජන, සංචාරක සහ නිපුණ රැකියා ප්‍රවර්ධනයට ඒකාබද්ධ සැලැස්මක්
අපනයන ආදායම් ඉලක්කය සහ තානාපති කාර්යාලවල භූමිකාව
2030 වසර වන විට ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 36 ඉක්මවා ඉහළ නංවා ගැනීම රජයේ ප්‍රධාන ආර්ථික ඉලක්කයක් බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ ප්‍රකාශ කළේය. විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලවල සේවය කරන වාණිජ නිලධාරීන් සමඟ පැවැති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව අවධාරණය කළේය.
වාණිජමය වශයෙන් වැදගත්කමක් සහිත ප්‍රධාන විදේශීය වෙළෙඳපොළවල් 23ක ස්ථානගත කර සිටින වාණිජ නිලධාරීන් අමතමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ ශ්‍රී ලංකාවේ ආර්ථික සහ වෙළෙඳ නාමය ප්‍රවර්ධනය කිරීමේ මූලික වගකීම ඔවුන් සතුව පවතින බවයි. ජාතික අපනයන සංවර්ධන සැලැස්මට (NEDP) අනුකූලව කටයුතු කරමින්, වෙළෙඳපොළ පුළුල් කිරීම, අපනයන උත්තේජනය සහ ජාත්‍යන්තර වාණිජ සබඳතා ශක්තිමත් කිරීම මගින් මැනිය හැකි ප්‍රතිඵල ලබාදීමට කැපවන ලෙස ද අමාත්‍යවරයා එහිදී නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
'ශ්‍රී ලංකා එක්ස්පෝ 2027' සහ විදේශ ආයෝජන
රජයේ ඉදිරි ආර්ථික වැඩපිළිවෙළ යටතේ සංවිධානය කිරීමට නියමිත 'ශ්‍රී ලංකා එක්ස්පෝ 2027' ජාත්‍යන්තර ප්‍රදර්ශනය සඳහා වැඩි ජාත්‍යන්තර සහභාගීත්වයක් ලබාගැනීමේ අවශ්‍යතාව ද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය. ඊට අමතරව ශ්‍රී ලාංකික නිෂ්පාදන සහ සේවාවන් සඳහා නව වෙළෙඳපොළ ප්‍රවේශයන් ලබාගැනීම, සෘජු විදේශ ආයෝජන (FDI) ආකර්ෂණය කරගැනීම, සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීම මෙන්ම විදේශයන්හි නිපුණ රැකියා අවස්ථා හඳුනාගැනීම කෙරෙහි ද විශේෂ අවධානය යොමුකළ යුතු බව පැහැදිලි කෙරිණි.
වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (වෙළෙඳ හා පර්යේෂණ) ගිල්මා දහනායක, වැඩබලන වාණිජ අධ්‍යක්ෂ ජෙනරාල් සෝමසේන මහදියුල්වැව ඇතුළු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.
ක්‍රියාකාරී ප්‍රගති සමාලෝචනය සහ ඉදිරි පියවර
මෙම සාකච්ඡාවේදී විදේශ දූත මණ්ඩලවල සේවය කරන සෑම වාණිජ නිලධාරියෙකු විසින්ම තම තමන්ට අදාළ රටවල මේ දක්වා ක්‍රියාත්මක කරන ලද වෙළෙඳ, ආයෝජන, සංචාරක සහ රැකියා ප්‍රවර්ධන වැඩසටහන් පිළිබඳ අමාත්‍යවරයා හමුවේ කරුණු පැහැදිලි කරන ලදී. එමෙන්ම වසරේ ඉතිරි කාලය තුළ ක්‍රියාත්මක කිරීමට නියමිත ඉදිරි සැලසුම් පිළිබඳව ද එහිදී දීර්ඝ ලෙස සාකච්ඡා විය.
ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ ශ්‍රී ලංකාවේ වාණිජ නියෝජනය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහාත්, නියමිත අපනයන ඉලක්ක සපිරීමේ ප්‍රගතිය නිතිපතා නිරීක්ෂණය කිරීම සඳහාත් ඉදිරියේදී ද මෙවැනි ප්‍රගති සමාලෝචන රැස්වීම් අඛණ්ඩව පැවැත්වීමට තීරණය කෙරිණි.




