ශ්‍රී ලංකා නීතිඥ සංගමය සමඟ සාකච්ඡාවේදී සමස්ත අධිකරණ සහ විමර්ශන පද්ධතියේම පූර්ණ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ ගැන අනාවරණයක්
22 වන සංශෝධනය සහ ජනාධිපතිවරයාගේ ස්ථාවරය
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධනය මගින් යෝජිත අධිකරණ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක නොසැලෙන ස්ථාවරයක පසුවන බව ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග පවසයි.
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ (BASL) නියෝජිතයන් සමඟ පැවැති විශේෂ සාකච්ඡාවේදී ද ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් අදහස් දක්වා තිබිණ.
විශේෂයෙන්ම, විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම පිළිබඳ යෝජනාව හමුවේ එල්ල වන විවේචන හමුවේ වුවද, ජනතාවට ලබා දුන් ප්‍රතිඥාවන් ඉටු කිරීම වෙනුවෙන් තමන් දරන ධූරයේ අවදානම දැරීමට වුවද සූදානම් බව ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළේය.
"රටට ලබාදුන් වෙනස සිදු කිරීම වෙනුවෙන් මගේ තනතුර අහිමි වීමේ අවදානමක් පැමිණියද එය භාර ගැනීමට මම ලෑස්තියි," යනුවෙන් ජනාධිපතිවරයා නීතිඥ සංගම් නියෝජිතයන් හමුවේ සඳහන් කර ඇත.
පැයකට ආසන්න කාලයක් සාර්ථකව පැවැති මෙම සාකච්ඡාවේ වීඩියෝ දර්ශන සහ ප්‍රකාශ රජය විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇති අතර, එහිදී විනිසුරුවරුන් විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව දීර්ඝ කිරීමේ තීරණය පුද්ගල කේන්ද්‍රීය එකක් නොව රටේ පොදු යහපත උදෙසා ගත් ප්‍රතිපත්තිමය පියවරක් බව ජනාධිපතිවරයා පැහැදිලි කර සිටියි.
22 වන ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ ප්‍රතිසංස්කරණ
| විශ්‍රාම වයස සංශෝධනය: ශ්‍රේෂ්ඨාධිකරණය (අවු. 65 සිට 67 දක්වා) සහ අභියාචනාධිකරණය (අවු. 63 සිට 65 දක්වා)
| විමර්ශන ආයතන ශක්තිමත් කිරීම: අල්ලස් කොමිසමට ප්‍රාදේශීය කාර්යාල 24ක් සහ අලුතින් නිලධාරීන් 373ක්
| පොලිස් සහ නීතිපති දෙපාර්තමේන්තු: පොලිසියට අලුතින් 10,000ක් සහ නීතිපති දෙපාර්තමේන්තුවට නීති නිලධාරීන් 50ක්
| යටිතල පහසුකම්: නව මහාධිකරණ 11ක් පිහිටුවීම සහ මහාධිකරණ විනිසුරුවන් සංඛ්‍යාව 110 සිට 120 දක්වා වැඩි කිරීම
අධිකරණ සහ විමර්ශන පද්ධතියේ පූර්ණ පරිවර්තනයක්
යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය යනු හුදෙක් අධිකරණයට පමණක් සීමා වූවක් නොවී විමර්ශන, නඩු පැවරීම සහ අධිකරණ (නඩු විභාග කිරීම) යන අංශයන් හි ඒකාබද්ධ ක්‍රියාවලියක් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, එම සමස්ත පද්ධතියම (Systematic Change) එකවර ශක්තිමත් කිරීමේ පුළුල් සැලසුමක් ක්‍රියාත්මක වන බව ප්‍රකාශ කළේය.
ඒ අනුව, නීතිපති දෙපාර්තමේන්තුව, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC), ශ්‍රී ලංකා පොලිසිය සහ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව යන ආයතනවල මානව සම්පත සහ තාක්ෂණික පහසුකම් ඉහළ නැංවීමට පියවර ගෙන ඇත.
විශේෂයෙන්ම, කොළඹට සීමා වී තිබූ අල්ලස් කොමිසමේ සේවාවන් දිස්ත්‍රික් මට්ටමින් ව්‍යාප්ත කිරීම සඳහා ප්‍රාදේශීය කාර්යාල 24ක් පිහිටුවීමටත්, පොලිස් සේවයට අලුතින් නිලධාරීන් 10,000ක් බඳවා ගැනීමටත් අනුමැතිය හිමිව තිබේ.
එලෙසම, නඩු ගොඩගැසීම වැළැක්වීම සඳහා අලුතින් මහාධිකරණ 11ක් ඉදිකිරීමටත්, මහාධිකරණ විනිසුරුවරුන් සංඛ්‍යාව 110 සිට 120 දක්වා ඉහළ නැංවීමටත් කටයුතු සම්පාදනය කර ඇත.
පළාත්බදව අභියාචනාධිකරණ කටයුතු ව්‍යාප්ත කිරීමට සහ ශ්‍රේෂ්ඨාධිකරණය හා අභියාචනාධිකරණය තුළ ඩිජිටල් තාක්ෂණය භාවිත කිරීමේ පරීක්ෂණ අදියරයන් දැනටමත් ක්‍රියාත්මක වන බව ද අනාවරණය විය.
නීතිඥ සංගමයේ ස්ථාවරය සහ ඉදිරි පියවර
සාකච්ඡාව අතරතුරදී ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නියෝජිතයන් පෙන්වා දී ඇත්තේ, විනිසුරුවරුන් සංඛ්‍යාව වැඩි කිරීම මෙන්ම විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව දීර්ඝ කිරීම වැනි කරුණු සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය විරුද්ධත්වයක් නොමැති බවයි.
කෙසේ වෙතත්, අදාළ තීරණය පිළිබඳව තවදුරටත් සලකා බලා පාර්ලිමේන්තු ක්‍රියාවලිය තුළදී යම් පොදු සම්මුතියකට එළඹීම සුදුසු බව නීතිඥ සංගමය යෝජනා කර සිටියේය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 65 සිට 67 දක්වාත්, අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 63 සිට 65 දක්වාත් ඉහළ නැංවීම ඇතුළත් මෙම 22 වන සංශෝධනය අගෝස්තු 07 වන දින ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කරන ලදී.
කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති මෙම සංශෝධන පනත් කෙටුම්පත ඉදිරි අයවැය විවාදයට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට රජය අපේක්ෂා කරයි.




