BREAKING
ඇල්ල නිව්බර්ග් තේ කම්හල සුපිරි හෝටලයක් වෙයි●සයිබර් ජාතිකවාදය: ඇල්ගොරිතම වෙළඳපොළට හසු වූ අධි-ප්‍රබන්ධ දේශපාලනය (දීප්තිගේ වීඩියෝවක්)●බ්‍රිතාන්‍ය දුම්රියකදී කාන්තාවකට ලිංගික අතවර කළ ශ්‍රී ලාංකිකයෙකුට සිරදඬුවම්●'මඩොල් දූව' ස්වීඩන් පාසල් දරුවන් අතරට යයි●දළ පූට්ටුවා ඝාතනය: වසර ගණනාවකට පසුත් යුක්තිය ප්‍රමාද ඇයි?●ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් ශ්‍රී ලංකාවේ ආයෝජන ගැන වාර්තාවක්●රෝසි සේනානායකගේ පුත් කණිෂ්ක සේනානායක අභාවප්‍රාප්ත වෙයි●සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●
Top Ad
පුවත්

22 සංශෝධනයෙන් අධිකරණ ස්වාධීනත්වයට බලපෑමක්ද? විපක්ෂ නායකගෙන් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න මාලාවක්

T

The Leader Desk

August 18, 2026 • 12:09 PM

22 සංශෝධනයෙන් අධිකරණ ස්වාධීනත්වයට බලපෑමක්ද? විපක්ෂ නායකගෙන් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න මාලාවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමට එරෙහිව නැගෙන දේශීය හා ජාත්‍යන්තර විරෝධතා ගැන රජයේ ස්ථාවරය විමසයි
  • ස්වභාවික යුක්ති මූලධර්මයන්ට අනුව තමන්ගේ නඩුව තමන් විසින්ම නොවිමසිය යුතු බවට වන මූලික නීතිමය සංකල්පය මෙහිදී අවධාරණය කෙරිණි.
අකුරු ප්‍රමාණය (Font Size):


ව්‍යවස්ථානුකූලභාවය සහ ලබැඳියාවේ ගැටුම් මුල්කරගෙන 27 (2) යටතේ විශේෂ ප්‍රකාශයක්


යෝජිත 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් ඉහළ අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් දේශීය හා ජාත්‍යන්තර වශයෙන් මතුව ඇති ගැටලු සහ විරෝධතා පිළිබඳව රජයේ පැහැදිලි ස්ථාවරය ප්‍රකාශ කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටියේය.

ස්ථාවර නියෝග 27 (2) යටතේ විශේෂ ප්‍රකාශයක් කරමින් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේ, මෙම යෝජනාව හේතුවෙන් මෙරට අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වය සහ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය කෙරෙහි එල්ල විය හැකි බලපෑම පිළිබඳව ප්‍රමුඛ පෙළේ පාර්ශ්ව රැසක් සිය දැඩි කනස්සල්ල පළකර ඇති බවයි. ත්‍රෛනිකායික මහනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා, ශ්‍රී ලංකා නීතිඥ සංගමය, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ නියෝජිතවරිය මෙන්ම ජාත්‍යන්තර නීති ක්ෂේත්‍රයේ සංවිධාන රැසක් මේ වන විටත් ඒ සම්බන්ධයෙන් කරුණු දක්වා ඇති බව හෙතෙම සභාව හමුවේ සිහිපත් කළේය.

ලබැඳියාවේ ගැටුම සහ මූලධර්ම පිළිබඳ ප්‍රශ්නය

එක්සත් ජාතීන්ගේ විනිසුරුවන්ගේ ස්වාධීනත්වය පිළිබඳ විශේෂ වාර්තාකාරිණියගේ ස්ථාවරය උපුටා දක්වමින් විපක්ෂ නායකවරයා සඳහන් කළේ, අදාළ සංශෝධනය මඟින් ඍජු ප්‍රතිලාභ ලබන පාර්ශ්වයන් විසින්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 වගන්තිය යටතේ එහි ව්‍යවස්ථානුකූලභාවය විභාග කිරීමට යාමේදී බරපතළ 'ලබැඳියාවේ ගැටුමක්' (Conflict of Interest) මතුවන බවයි. ස්වභාවික යුක්ති මූලධර්මයන්ට අනුව තමන්ගේ නඩුව තමන් විසින්ම නොවිමසිය යුතු බවට වන මූලික නීතිමය සංකල්පය මෙහිදී අවධාරණය කෙරිණි.

එමෙන්ම ත්‍රෛනිකායික මහනායක හිමිවරුන් ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපිය පදනම් කරගනිමින් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා, අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ මහජන විශ්වාසය රඳා පවතින්නේ අධිකරණය සැබැවින්ම ස්වාධීන වීම මත පමණක් නොව, එය කිසිදු සැකයකින් තොරව මහජනතාව හමුවේ විද්‍යාමාන වීම මත බවත්, මෙවැනි හදිසි සංශෝධන මඟින් එම විශ්වාසය බිඳවැටීමට ඉඩ ඇති බවට මහනායක හිමිවරුන් දක්වා ඇති අදහස රජය පිළිගන්නේද යන්න විමසා සිටියේය.

ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සහ ජනමතවිචාරණය

පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය (CLA) සහ ලෝ ඒෂියා (LAWASIA) සංවිධානය පෙන්වා දී ඇති පරිදි, ප්‍රමාණවත් පුළුල් මහජන හෝ පාර්ශ්වකරුවන්ගේ සාකච්ඡාවකින් තොරව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තෝරාගත් කොටස් පමණක් කඩිනමින් සංශෝධනය කිරීම ව්‍යවස්ථාවේ සමස්ත ගෞරවයට හානි පමුණුවන්නක් බව විපක්ෂ නායකවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

මීට අමතරව ශ්‍රී ලංකා නීතිඥ සංගමය මතු කර ඇති නෛතික කරුණු කෙරෙහි අවධානය යොමු කරමින් හෙතෙම කියා සිටියේ, දැනට සේවයේ නියුතු විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වෙනස් කිරීම අධිකරණයේ ස්වාධීනත්වයට සහ ජනතා පරමාධිපත්‍යයට ඍජුව බලපාන බැවින්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3, 4 සහ 83 වැනි වගන්ති ප්‍රකාරව ඒ සඳහා ජනමතවිචාරණයක් අවශ්‍ය වන්නේද යන්න රජය පැහැදිලි කළ යුතු බවයි.

ද්විපාර්ශ්වික සබඳතා සහ නඩු කටයුතු කාර්යක්ෂම කිරීම


ජාත්‍යන්තර බලපෑම් පිළිබඳව අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා සඳහන් කළේ, ප්‍රංශයේ ජාතික නීතිඥ කවුන්සිලය (CNB) විසින් සම්මත කරන ලද යෝජනාවක් මඟින් මෙරට නීතිය හා අධිකරණ ක්ෂේත්‍රයේ ද්විපාර්ශ්වික සහයෝගිතාවන්ට මින් එල්ල විය හැකි බලපෑම පෙන්වා දී ඇති බවයි.

අවසාන වශයෙන්, මෙරට අධිකරණ පද්ධතියේ ධුරාවලිය අනුව 2025 දෙසැම්බර් 31 දින වන විට විසඳීමට ඉතිරිව ඇති නඩු ප්‍රමාණය පිළිබඳ සංඛ්‍යාලේඛන සභාගත කරන ලෙස ඉල්ලා සිටි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස , විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම හරහා මෙරට නඩු කටයුතු කඩිනම් කිරීම කෙරෙහි සැබෑ බලපෑමක් සිදුවන්නේද යන්න පිළිබඳ රජයේ ඇගයීම සහ නිල ස්ථාවරය රටට හෙළි කරන ලෙස ඉල්ලා සිටියේය.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...