සම්මත කිරීමට තුනෙන් දෙකේ බහුතරය සහ ජනමත විචාරණයක් අවශ්‍ය බවට පෙත්සම්කරුවන්ගෙන් තර්ක
ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම ගැනීමේ වයස් සීමාව දීර්ඝ කිරීම ඇතුළු අධිකරණ ක්ෂේත්‍රයට අදාළ ප්‍රතිසංස්කරණ කිහිපයක් අන්තර්ගත 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර විසින් අද (18) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.
මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කිරීමත් සමඟ, එහි අන්තර්ගත විධිවිධානවල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක්කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය, සිවිල් නීති සංවිධාන සහ විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂ කිහිපයක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විශේෂ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පෙත්සම් (Special Determination Petitions) ගොනුකිරීම ආරම්භ කර තිබේ.
යෝජිත ව්‍යවස්ථා සංශෝධනයේ ප්‍රධාන අන්තර්ගතය
පසුගිය අගෝස්තු 07 වැනි දින ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත්කරන ලද 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ දෙවැනි වගන්තිය මඟින් යෝජනා කර ඇත්තේ:
| ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකුගේ විශ්‍රාම ගැනීමේ වයස් සීමාව දැනට පවතින අවුරුදු 65 සිට 67 දක්වා දීර්ඝ කිරීම,
| අභියාචනාධිකරණ විනිසුරුවරයකුගේ විශ්‍රාම ගැනීමේ වයස් සීමාව දැනට පවතින අවුරුදු 63 සිට 65 දක්වා දීර්ඝ කිරීමයි.
අධිකරණ ක්ෂේත්‍රයේ කාර්යක්ෂමතාව, ජ්‍යෙෂ්ඨ විනිසුරුවරුන්ගේ අත්දැකීම් රටේ අධිකරණ පද්ධතිය තුළ තවදුරටත් රඳවා ගැනීම සහ නඩු කටයුතු කඩිනම් කිරීම අරමුණු කරගනිමින් මෙම ප්‍රතිසංස්කරණ ඉදිරිපත් කර ඇති බව රජයේ පාර්ශවය සඳහන් කරයි.
නීතිඥ සංගමයෙන් සහ සිවිල් සංවිධානවලින් ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු දැක්වීම්
කෙසේ වෙතත්, මෙම සංශෝධන කෙටුම්පත මඟින් අධිකරණයේ ස්වාධීනත්වයට සහ නීතියේ ආධිපත්‍යයට බලපෑම් එල්ල විය හැකි බව සඳහන් කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) වෙනුවෙන් එහි භාණ්ඩාගාරික නීතිඥ ටී.එම්.එස්. පසිඳු සිල්වා සහ සහකාර ලේකම් නීතිඥ ලකිත වාකිස්ඨආරච්චි විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කරනු ලැබීය.
ඊට අමතරව, නිදහස් නීතිඥ සංවිධානයේ (Free Lawyers) සභාපති නීතිඥ මෛත්‍රී ගුණරත්න (SC/SD/33/2026) මෙන්ම ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු මහාචාර්ය ජී.එල්. පීරිස් ද වෙන වෙනම පෙත්සම් ඉදිරිපත් කර ඇත. මෙම සියලු පෙත්සම්වල වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කර තිබේ.
පෙත්සම්කරුවන් අධිකරණය හමුවේ තර්ක කරන්නේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික ව්‍යුහයට සහ අධිකරණ ක්‍රමවේදයට අදාළව සිදුකෙරෙන මෙවැනි වෙනස්කම් සම්මත කිරීමට නම්;
| පාර්ලිමේන්තුවේ සමස්ත මන්ත්‍රී සංඛ්‍යාවෙන් තුනෙන් දෙකක (2/3) විශේෂ බහුතර ඡන්දයක් අවශ්‍ය බවත්,
| ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන ප්‍රකාරව ජනමත විචාරණයකදී මෙරට ජනතාවගේ අනුමැතිය ලබාගැනීම අනිවාර්ය බවටත් තීන්දුවක් ප්‍රකාශ කරන ලෙසයි.
දේශපාලන පක්ෂවල මැදිහත්වීම
පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය (SJB) විසින් ද SC/SD/31/2026 අංකය යටතේ අද පස්වරුවේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කරනු ලැබීය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සිදුකරනු ලබන ඕනෑම ප්‍රතිසංස්කරණයකදී රටේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය, බලතල බෙදීමේ න්‍යාය (Separation of Powers) සහ මහජන අයිතිවාසිකම් කෙරෙහි සිදුවන බලපෑම පිළිබඳව අධිකරණමය විවරණයක් ලබාගැනීම මෙහි අරමුණ බව එම පක්ෂය නිකුත් කළ නිවේදනයක දැක්වේ.
මීට අමතරව, සර්වජන බලය පක්ෂය විසින් ද අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද 22 වැනි සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බවට ප්‍රකාශ කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
ඉදිරි නීතිමය පියවර
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 වැනි වගන්තියට අනුව, පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කළ දින සිට දින 07ක් ඇතුළත ඕනෑම පුරවැසියකුට හෝ සංවිධානයකට එහි ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ඉදිරිපත් කිරීමේ හැකියාව පවතී.
එම පෙත්සම් විභාග කිරීමෙන් අනතුරුව, අදාළ පනත් කෙටුම්පත සාමාන්‍ය බහුතරයකින් සම්මත කළ හැකි ද, නැතහොත් තුනෙන් දෙකක විශේෂ බහුතරයක් හෝ ජනමත විචාරණයක් අවශ්‍ය වන්නේ ද යන්න පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ නිල තීන්දුව කථානායකවරයා වෙත සහ ජනාධිපතිවරයා වෙත ඉදිරියේදී දැනුම් දීමට නියමිතය.




