විත්තිකරුවන් 24 දෙනාට එරෙහි අධිචෝදනා 23,270ක්; ලිඛිත දේශන සැප්තැම්බර් මුලදී අධිකරණයට
2019 වසරේ එල්ල වූ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාවට අදාළව නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව පවරා ඇති ප්‍රධාන නඩුවේ තීන්දුව ලබන සැප්තැම්බර් මස 22 වනදා ප්‍රකාශයට පත් කිරීමට කොළඹ ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණය අද (24) තීරණය කළේය.
මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ (සභාපති), සුජීව නිශ්ශංක සහ රාමනාදන් කන්නන් යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩු විභාගය පැවැත්විණි. නඩුවේ විත්ති පාර්ශ්වයේ සාක්ෂි විභාගය අද සවස අවසන් වූ අතර, නඩුවට අදාළ ලිඛිත දේශන සැප්තැම්බර් මස මුල් සතියේදී අධිකරණයට භාර දීමට නියමිතව ඇත.
වසර පහක දීර්ඝ සාක්ෂි විභාගය
2019 අප්‍රේල් 21 වනදා කොළඹ, මීගමුව සහ මඩකලපුව ප්‍රදේශවල කිතුනු දේවස්ථාන හා ප්‍රමුඛ පෙළේ සංචාරක හෝටල් ඉලක්ක කර ගනිමින් එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවට කුමන්ත්‍රණය කිරීම සහ ආධාර අනුබල දීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කරන ලදී.
ආරම්භයේදී විත්තිකරුවන් 25 දෙනෙකු නම් කර තිබූ අතර, ඉන් එක් අයෙකු 2021 වසරේදී මිය යාම හේතුවෙන් ඉතිරි විත්තිකරුවන් 24 දෙනාට 2021 ඔක්තෝබර් 04 වනදා අධිචෝදනා 23,270ක් භාර දෙනු ලැබිණි. වසර පහකට ආසන්න කාලයක් පුරා දින 540කට අධික කාලයක් විභාග වූ මෙම නඩුවේදී පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂිකරුවන් 2,300කට අධික පිරිසක් සාක්ෂි ලබා දී තිබේ.
සාක්ෂි සහ නඩු භාණ්ඩ වාර්තා
නඩු විභාගය අතරතුර අධිකරණය විසින් විත්තිකරුවන් සිදු කළ පාපොච්චාරණ 10ක් සාක්ෂි වශයෙන් පිළිගෙන ඇත. ඊට අමතරව සොයාගත් පුපුරන ද්‍රව්‍ය, අවි ආයුධ, බෝම්බ නිෂ්පාදනයට යොදාගත් රසායනික ද්‍රව්‍ය ඇතුළු නඩු භාණ්ඩ 2,076ක් නඩු විභාගයේදී ලකුණු කර තිබේ. රජයේ රස පරීක්ෂක වාර්තා, DNA වාර්තා, වෛද්‍ය වාර්තා මෙන්ම පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා රැසක්ද සාක්ෂි වශයෙන් ඉදිරිපත් කර ඇත.
ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර, අතිරේක සොලිසිටර් ජනරාල් සුදර්ශන ද සිල්වා ඇතුළු නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නීතිඥ කණ්ඩායමක් විසින් පැමිණිල්ල මෙහෙයවන ලදී.
විනිසුරු මඩුල්ලේ ආරක්ෂාව තර කෙරේ
නඩුවේ තීරණාත්මක සාක්ෂි විභාගය අවසන් වීම සහ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිත පසුබිම සැලකිල්ලට ගනිමින්, ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ ආරක්ෂාව වහාම ක්‍රියාත්මක වන පරිදි තර කිරීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන තිබේ. ඒ අනුව විනිසුරුවරුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ ආරක්ෂක යතුරුපැදි කණ්ඩායම් ඇතුළු අතිරේක ආරක්ෂක විධිවිධාන යොදවා ඇත.




