නඩු ප්‍රමාදයට විසඳුම වයස වැඩිකිරීම නොව ඩිජිටල්කරණය බව පාඨලී සහ මාන්නප්පෙරුම අවධාරණය කරති
යෝජිත 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ ක්ෂේත්‍රයේ යෝජිත ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ප්‍රධාන පෙළේ දේශපාලන නියෝජිතයන් පිරිසක් අදහස් පළ කර තිබේ. කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඔවුන් පෙන්වා දුන්නේ මෙම සංශෝධන ක්‍රියාවලියේදී ජනමත විචාරණයක අවශ්‍යතාව, අධිකරණයේ ස්වාධීනත්වය සහ ආර්ථිකමය ප්‍රමුඛතා කෙරෙහි විශේෂ අවධානයක් යොමු විය යුතු බවයි.
පූර්ණ විනිසුරු මඩුල්ලක අවශ්‍යතාව සහ ජනමත විචාරණ තර්කය
මෙහිදී අදහස් දැක්වූ හිටපු අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් සඳහන් කළේ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු වී ඇති පෙත්සම් බහුතරයක ප්‍රධාන ඉල්ලීමක් වන්නේ මේ සඳහා ජනමත විචාරණයක් අනිවාර්ය බවයි. අධිකරණ පද්ධතියේ සුවිශේෂී වෙනස්කම් සිදුකිරීමේදී ජනතා පරමාධිපත්‍යයට ප්‍රමුඛත්වය හිමිවිය යුතු බව ඔහු පෙන්වා දුන්නේය.
විෂයභාර අමාත්‍යවරයා විසින් "ජනමත විචාරණයක් නොපැවැත්වෙන" බවට සිදුකළ ප්‍රකාශය පිළිබඳව ද මෙහිදී විවේචනයක් එල්ල විය. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණයකට පෙර එවැනි නිගමන ප්‍රකාශයට පත් කිරීම නුසුදුසු බව පෙන්වා දුන් මහාචාර්යවරයා, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 132(3) වගන්තිය ප්‍රකාරව අග්‍රවිනිශ්චයකාරවරයාට ඇති බලතල අනුව ශ්‍රේෂ්ඨාධිකරණයේ සියලුම විනිසුරුවරුන්ගෙන් සමන්විත පූර්ණ විනිසුරු මඩුල්ලක් (Full Bench) හමුවේ මෙම පෙත්සම් විභාගයට ගත යුතු බවට වන ඉල්ලීම නැවත අවධාරණය කළේය. ඒ සඳහා 1983 වසරේ 6 වැනි ව්‍යවස්ථා සංශෝධන අවස්ථාවේදී නෙවිල් සමරකෝන් අග්‍රවිනිශ්චයකාරවරයා යටතේ පත්කළ පූර්ණ විනිසුරු මණ්ඩලයේ ඓතිහාසික පූර්වාදර්ශය ද ඔහු සිහිපත් කළේය.
ආර්ථික යථාර්ථය සහ අධිකරණ ඩිජිටල්කරණය

එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මෙහිදී අවධානය යොමු කළේ රට හමුවේ ඇති ආර්ථික අභියෝග සහ අධිකරණ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ සැබෑ විසඳුම් පිළිබඳවයි. 2027 වසරෙන් පසු විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණ කාලසීමාව අවසන් වීමත් සමඟ රට මුහුණ දෙන මූල්‍ය වගකීම් ජයගැනීමට නම් 7%-8%ක ආර්ථික වර්ධනයක්, ඩොලර් සංචිත ශක්තිමත් කිරීමක් සහ ඉහළ ඵලදායිතාවක් අත්‍යවශ්‍ය බව ඔහු සඳහන් කළේය.
අධිකරණ ක්ෂේත්‍රයේ පවතින නඩු ප්‍රමාදයන් අවම කිරීම සඳහා තාක්ෂණික ප්‍රවේශයක අවශ්‍යතාව අවධාරණය කළ හිටපු අමාත්‍යවරයා, රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ප්‍රමාදයන් අවම කිරීම, නඩු ගොනුකිරීම් හා ලේඛනගත කිරීම් සම්පූර්ණයෙන් පරිගණකගත (Digitization) කිරීම, ඇප ලබාදීමේ ක්‍රමවේද නීතිමය වශයෙන් සංශෝධනය කිරීම සහ මත්ද්‍රව්‍ය ආශ්‍රිත වැරදි සම්බන්ධයෙන් පුනරුත්ථාපන ක්‍රමවේද පුළුල් කිරීම වඩාත් ප්‍රායෝගික විසඳුම් ලෙස යෝජනා කළේය.
ස්වාධීනත්වය සහ විකල්ප ප්‍රතිසංස්කරණ
හිටපු රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම අදහස් දක්වමින් කියා සිටියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම පමණක් නඩු ප්‍රමාදයට ස්ථිර විසඳුමක් නොවන බවයි. නීතිපති දෙපාර්තමේන්තුවට සහ අධිකරණ කාර්ය මණ්ඩලයට අවශ්‍ය සම්පත් සම්පාදනය කිරීම හා තාක්ෂණය මුසු කිරීම මගින් ක්ෂේත්‍රයේ ස්වාධීනත්වය මෙන්ම කාර්යක්ෂමතාව ද රැකගත හැකි බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
මෙම මාධ්‍ය සාකච්ඡාව සඳහා හිටපු අමාත්‍ය සුරේන් රාඝවන් සහ නව ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික ශිරාස් යුනූස් ඇතුළු දේශපාලන නියෝජිතයන් පිරිසක් එක්ව සිටියහ.




