හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ ට සහ හිටපු අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ට එරෙහිව අල්ලස් කොමිසම හමුවට අලුත් පැමිණිල්ලක් ලැබී තිබේ.
චෝදනාව එල්ල කරන්නේ ‘අල්ලස, දූෂණය සහ නාස්තියට එරෙහි පුරවැසි බලය’ සංවිධානයයි.
ඔවුන් පවසන්නේ 2012 සහ 2013 වසරවල පැවැති ‘දැයට කිරුළ’ ප්‍රදර්ශන මාලාවේදී රුපියල් කෝටි 29.18 ක රජයේ මුදල් අයථා ලෙස පරිහරණය වී ඇති බවයි.
පැමිණිල්ලට අනුව ගැටලුව මතුව ඇත්තේ අනුරාධපුර සහ අම්පාර ප්‍රදේශවල පැවැති ප්‍රදර්ශන ව්‍යාපෘති තුළය. එහිදී ඉසව් කළමනාකරණ සේවා (Event Management) සහ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ කටයුතු සිදුව තිබේ. චෝදනා නගන පාර්ශවය පවසන්නේ මෙම කටයුතු සඳහා නිසි ටෙන්ඩර් පටිපාටියක් අනුගමනය කර නොමැති බවයි.
ගණන් හිලව් සරලව මෙසේය. ශිරන්ති රාජපක්ෂ ට එරෙහිව රුපියල් කෝටි 16.32ක මුදලක් ද, රංජිත් සියඹලාපිටිය ට එරෙහිව රුපියල් කෝටි 12.86ක මුදලක් ද වශයෙන් මෙම චෝදනා ගොනු කර ඇත. විධිමත් තරඟකාරී මිල කැඳවීමකින් තොරව රාජ්‍ය ප්‍රතිපාදන වෙන් කිරීම මෙහි ඇති ප්‍රධාන නෛතික ගැටලුව ලෙස පැමිණිලිකරුවන් පෙන්වා දෙයි.
පැමිණිල්ල සහ නීතිය - චෝදනා සනාථ වීමේ නෛතික යථාර්ථය
කෙසේ වෙතත්, මෙම සිදුවීමේ කාසියට තවත් පැත්තක් ඇත. මෙය තවමත් දේශපාලන හෝ සිවිල් සංවිධානයක් විසින් ඉදිරිපත් කරන ලද පැමිණිල්ලක් පමණි. ලංකාවේ නීතියට අනුව ඕනෑම අයෙකුට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිලි කළ හැකිය. නමුත් චෝදනාවක් ඉදිරිපත් වූ සැනින් අයෙකු වැරදිකරුවෙකු වන්නේ නැත.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මුලින්ම මෙම පැමිණිල්ලේ මූලික කරුණු විභාග කරනු ඇත. ඉන්පසු විධිමත් විමර්ශනයක් පවත්වා, නඩු පැවරීමට තරම් සාක්ෂි තිබේදැයි තීරණය කළ යුතුය. එතෙක් මෙම ප්‍රකාශ හුදු චෝදනා මට්ටමේ පවතින අතර, සැකකරුවන්ට තම නිර්දෝෂීභාවය ඔප්පු කිරීමට නීත්‍යානුකූල අයිතියක් ඇත.




