වී වගාවෙන්ම විතරක් බෑ – බඩඉරිඟු, අල සහ බීලූනු වගාවට ජාතික සැලැස්මක්: අමාත්‍යවරයා අනුරාධපුරයේදී අවධාරණය කරයි
කෘෂිකාර්මික පරිවර්තනය සහ ගොවිජනතාවගේ කාර්යභාරය
කෘෂිකාර්මික ක්ෂේත්‍රය තුළ පවතින ගැටලු නිරාකරණය කරගනිමින් වත්මන් පරිවර්තනීය වෙනස සාර්ථක කරගැනීමට නම් ගොවිජනතාව ද සිය පැරණි සම්ප්‍රදායික මතවලින් මිදී වෙනස් විය යුතු බව කෘෂිකර්ම, පශුසම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත ප්‍රකාශ කරයි. අනුරාධපුර පණ්ඩුලගම පිහිටි පළාත් කළමනාකරණ සංවර්ධන ශ්‍රවණාගාරයේදී ගොවි සංවිධාන නියෝජිතයන් හමුවෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
වී වගාවෙන් පමණක් රටේ කෘෂිකර්මාන්තය සහ ජාතික ආර්ථිකය ගොඩනැගිය නොහැකි බව පෙන්වා දුන් අමාත්‍යවරයා; බඩඉරිඟු, බීලූනු, අල වැනි අතිරේක බෝග වගාවන් කෙරෙහි ද රජයේ සෘජු කළමනාකරණය යොමු කර ඇති බව පැවසීය. විශේෂයෙන් දේශීය බඩඉරිඟු නිෂ්පාදනය ඉහළ නැංවීම මගින් රටට අවශ්‍ය ප්‍රෝටීන් සපයන කුකුළු මස් සහ බිත්තර කර්මාන්තය සුරක්ෂිත කළ හැකි බවත්, ඒ වෙනුවෙන් විද්‍යාත්මක සැලසුම් සකස් කරන බවත් හෙතෙම අවධාරණය කළේය.
යල කන්නයේ වී නිෂ්පාදන පිරිවැය සහ සහතික මිල
2026 යල කන්නයේ වී වගාව සඳහා වන නිල පිරිවැය වාර්තාව සකස් කර ඇති බව අමාත්‍යවරයා මෙහිදී අනාවරණය කළේය. කෘෂිකර්ම අමාත්‍යාංශය, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ජාතික පසු අස්වනු තාක්ෂණ ආයතනය සහ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිපර්යේෂණ හා පුහුණු ආයතනය යන රාජ්‍ය ආයතන පහ එක්ව මෙම විද්‍යාත්මක ගණනය කිරීම සිදු කර ඇත.
එම වාර්තාවට අනුව වී වර්ගවල නිෂ්පාදන පිරිවැය පහත පරිදි වේ.
* රතු නාඩු: කිලෝවකට රුපියල් 76යි
* සුදු නාඩු: කිලෝවකට රුපියල් 87යි
* සම්බා: කිලෝවකට රුපියල් 97යි
* කීරි සම්බා: කිලෝවකට රුපියල් 119යි
ගොවි සංවිධාන දීර්ඝ කාලයක් තිස්සේ කළ ඉල්ලීමට අනුව, මෙම ගණනය කරන ලද නිෂ්පාදන පිරිවැයට 30%ක ලාභයක් එකතු කර වී සඳහා සාධාරණ සහතික මිලක් නියම කිරීමේ ප්‍රතිපත්තිය රජය විසින් ක්‍රියාත්මක කරන බව අමාත්‍යවරයා පැවසීය. හෙක්ටෙයාරයකට ලබාදෙන රුපියල් 30,000ක පොහොර සහනාධාරය ද මෙම පිරිවැය ගණනය කිරීමේදී සලකා බලා තිබේ.
බදු, සහන සහ වෙළෙඳපොළ කළමනාකරණය
රජයේ සහතික මිලට වී මිලදී ගැනීමේ පදනම මත වී මෝල් හිමියන්ට ද සලසා ඇති සහන පිළිබඳව අවධානය යොමු කළ අමාත්‍යවරයා, ලබාගත් ණය විධිමත්ව ආපසු ගෙවීම සියලු පාර්ශ්වයන්ගේ වගකීමක් බව මතක් කර දුන්නේය. දැනට පාරිභෝගිකයන්ට සහල් මිල සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් නොමැති බව ද හෙතෙම සඳහන් කළේය.
රට තුළ ස්ථීර ආහාර සුරක්ෂිතතාවක් ඇති කිරීම සඳහා සියලු ගොවීන් එකමුතුව ජාතික සැලැස්මකට අනුව වගා කිරීමේ සංස්කෘතියකට අවතීර්ණ විය යුතු බව පෙන්වා දුන් අමාත්‍ය ලාල්කාන්ත, හුදෙක් ඉලක්කම් හා දත්ත ඉදිරිපත් කිරීමෙන් පමණක් ගොවියාගේ ජීවන තත්ත්වය උසස් කළ නොහැකි බවත්, අභියෝග හමුවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ප්‍රායෝගික වෙනසක් සිදු කිරීමට රජය කැපවී සිටින බවත් වැඩිදුරටත් පැවසීය.
...........




