නිසි ක්‍රමවේදයට අනුව සිතාසි ක්‍රියාත්මක කර අධිකරණයට දන්වන ලෙස මහේස්ත්‍රාත්වරයාගෙන් දැනුම්දීමක්
2015 වසරේ සිදුවූ බව කියන ආන්දෝලනාත්මක මහ බැංකු බැඳුම්කර නිකුතුව හරහා රජයට රුපියල් බිලියන දහයකට අධික පාඩුවක් සිදුකිරීම සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ට එරෙහිව පවරා ඇති නඩුව ලබන ඔක්තෝබර් මස 30 වන දින යළි කැඳවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (21) නියෝග කළේය.
මෙම නඩුවේ සැකකාර හිටපු මහ බැංකු අධිපතිවරයා සම්බන්ධයෙන් නිසි පියවර අනුගමනය කරමින් සිතාසි ක්‍රියාත්මක කළ ආකාරය පිළිබඳ අධිකරණය හමුවේ වාර්තා කරන ලෙසද ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙහිදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට නියෝග කර සිටියේය.
අධිකරණයේ පෙනී සිටීමට නිකුත් කළ නොතීසි
අදාළ සිද්ධියට අදාළ සැකකරුට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් පසුගිය නඩු දිනයේදී නොතීසි නිකුත් කර තිබූ බව මහේස්ත්‍රාත්වරයා විවෘත අධිකරණයේදී සිහිපත් කළේය.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙන්වා දුන්නේ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් සිදුකර ඇති විමර්ශනවලට අනුව හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ට එරෙහිව අල්ලස් පනත යටතේ ‘දූෂණය’ යන චෝදනාව මත නඩු පැවරීමට ප්‍රමාණවත් කරුණු පවතින බවයි.
2015 වසරේ සිදු වූ බැඳුම්කර නිකුතුවෙන් රජයට සිදු වූ බව කියන රුපියල් බිලියන දහයකට අධික මූල්‍ය පාඩුව පදනම් කරගනිමින් අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබූ පැමිණිල්ල සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝග නිකුත් කළේය.
ත්‍රිපුද්ගල මහාධිකරණයේ විභාග වන අධිචෝදනා
මෙම ක්‍රියාවලියට සමගාමීව, 2015 පෙබරවාරි 27 වන දින පැවති භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියේදී රජයට රුපියල් මිලියන 688ක පාඩුවක් සිදුකිරීම ඇතුළු අධිචෝදනා 23ක් යටතේ නීතිපතිවරයා විසින් බස්නාහිර පළාත්බද ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේද නඩු පවරා තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් සිදුකරන ලද දීර්ඝ විමර්ශන උපුටා ගැනීම් අධ්‍යයනය කිරීමෙන් අනතුරුව, හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, හිටපු නියෝජ්‍ය අධිපති පී. සමරසිරි සහ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අර්ජුන් ඇලෝසියස් ඇතුළු විත්තිකරුවන් දස දෙනෙකුට එරෙහිව එම අධිචෝදනා ගොනු කර ඇත.
විදෙස්ගතව සිටින ප්‍රධාන සැකකාර හිටපු මහ බැංකු අධිපතිවරයා මෙරට අධිකරණය හමුවට ඉදිරිපත් කිරීම සඳහා වන රාජ්‍ය තාන්ත්‍රික හා නීතිමය පියවර අදාළ අංශ විසින් ක්‍රියාත්මක කරමින් පවතින පසුබිමක, මෙම නඩුව ලබන ඔක්තෝබර් 30 වන දින යළි විභාගයට ගැනීමට නියමිතය.




